Ronal the Barbarian (2011) සිංහල උපසිරැසි සමඟ.



කොහොමද යාලුවනේ ? මේ තමයි මගේ පළමුවෙනි කුලුදුල් උපැසිරැසි ගැන්වීම. ඉතින් පළවෙනි සබ් එකෙන්ම සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ආවා ඔන්න. ෆිල්ම් එක ගැන යමක් කියනවනන් මේක දැනට අපි බලලා තියන 3D Animation ෆිල්ම් වලට වඩා හාත්පසින්ම වෙනස් ෆිල්ම් එකක්. මේකේ භාවිතා කරලා තියන භාෂා ව්‍යවහාරය හා ත්‍රිමාණ සජීවීකරණ හැකියාව දිහා බැලුවහම ඔයාලට ඒක හොදටම තේරේවි. 2011 සැප්තැම්බර් 29 වෙනිදා ඩෙන්මාර්කයේදී නිර්මාණය වෙන මෙම චිත්‍රපටය IMDB දර්ශකයේ 6.7 වැනි හොඳ අගයක් වාර්තා කරලා තියනවා. මේ චිත්‍රපටය Animation, Adventure, Comedy ගණයට තමා අයත් වෙන්නේ. ඩෙන්මාර්ක් භාෂාවෙන් නිර්මාණය වෙන මෙම චිත්‍රපටය ZULU Awards 2012, Robert Festival 2012 සහා Annecy International Animated Film Festival 2012 යන ජාත්‍යන්තර සම්මාන උලෙළවල් වලදී හොඳම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය ( Best 3D Animation Moive) සදහා නිර්දේශ වී තිබෙනවා. ඩෙන්මාර්කයේ නිර්මාණය වුනාට, Walt Disney හා Dreamworkers යන ආයතන නිර්මාණය කළ චිත්‍රපටි එක්ක, කරට කර තරග කරන්න පුලුවන් චිත්‍රපටියක් තමා මේක. ඒ බව ෆිල්ම් එක බැලුවහම ඔයාට තේරේවි.

හරි දැන් පඳුර වටේ තැලුවා ඇති. දැන් අපි කතාව දිහාවට හැරෙමු. රොනල් කියන බාබේරියානු කොලුගැටයා වටේ තමා මේ කතාව ගෙතිලා තියෙන්නේ. බාබේරියානුවෝ කියන්නේ ඇඟපත එහෙම සුපිරියටම තියන අතිදක්ෂ රණශූරයෝ. නමුත් අපේ කතානායකයා නම්, අනිත් බාබේරියානුවොන්ගේ අහලකින්වත් තියන්න බැරි, කිසිම වැඩකට නැති එකෙක්. කොටින්ම කියනවා නම් ඇඟපත තියා මොලේ කලදක්වත් මෙයාට නෑ. වැඩකට අතගැහුවොත්, වැඩේ අනාගෙන තමා පස්ස බලන්නේ. ඉතින් කොහොමහරි දවසක රෝනල්ගේ ගමට වොල්කසා කියන දුෂ්ඨ පාලකයා පහරදීලා, ඔක්කොම බාබේරියානුවෝ අල්ලගෙන යනවා. රෝනල් විතරක් බේරෙනවා. වොල්කසා හදන්නේ බාබේරියානුවෝ ඔක්කොම අඳුරට අධිපති සාල් යක්ෂ දෙවියන්ට බිල්ලට දීලා, ඔහුගේ අසීමිත අඳුරු බලයෙන් කොටසක් ලබා ගෙන මුලු ලෝකයේම පාලකයා වෙන්න. ඉතින් රෝනල්ට සිද්ධ වෙනවා තමන්ගේ ගමේ කට්ටිය කොහොමහරි බේරගන්න. පොරවක්වත් හරියට උස්සගන්න බැරි මේ කොලුවාට, වොල්කසා වගේ දුෂ්ඨ පාලකයෙක් එක්ක සටන් කරන්න පුලුවන් වෙයිද ? තමන්ගේ ගමේ කට්ටිය බිල්ලට දෙන්න කලින් බේරගන්න පුලුවන් වෙයිද ? අඩුමගානේ තමන්ගේ පණකෙන්දවත් රැකගන්න මෙයාට පුලුවන් වෙයිද ? කියලා දැනගන්න ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා. ආ ! තවදෙයක්, අපූරු යාලුවෝ තුන් දෙනෙකුත් මෙයාගේ උදව්වට එනවා. මේ හතර දෙනා එකතුවෙලා කරන පිස්සු වැඩත්, මේගොල්ලන්ට වෙන අකරතැබ්බිත් ඔයාලට බඩ අල්ලන් හිනා වෙවී බලන්න පුලුවන් වේවි.

අවසාන වශයෙන් යාලුවනේ මං මෙන්න මේ දේත් ඔයාලට කියන්න ඕන. මාත් ZOOM එකෙන් සබ් බාගෙන යන කෙනෙක්. ළඟදී දවසක මටත් හිතුනා මමත් සබ් එකක් කරන්න ඕන කියලා. මට එහෙම හිතුනේ ZOOM එකේ සබ් කරලා තියන ෆිල්ම් වලට කට්ටිය දක්වලා තිබ්බ අදහස් (comments) දැක්කහමයි. මොකද ඒ අදහස් කියෙව්වහම ෆිල්ම් එකට සබ් කරපු යාලුවට වගේම, සබ් කරන්න හිතාගෙන ඉන්න අයටත් ෆුල් ජවයක් එනවා. ඉතින් එහෙම ෆුල් ජවයක් අරන් තමා මාත් ඔන්න වැඩේට බැස්සේ. නමුත් වැඩේට බැස්සට පස්සේ තමා තේරුණේ මේක නන් පට්ට කට්ටක් කියලා. මොකද අපිට ෆිල්ම් එකක් පැය 2න් 3න් බලලා ඉවරයක් කරන්න පුලුවන්. නමුත් අපි ෆිල්ම් එකකට ස්බ් කරන්න ගියොත් අපිට ඒ වැඩේ පැය 2න් 3න් ඉවරයක් කරන්න බෑ. ඒකට දවස් ගාණක් යනවා. ඔන්න ඕකයි ෆිල්ම් බලන එකෙයි, සබ් කරන එකෙයි වෙනස. මට මේ ෆිල්ම් එකට සබ් කරල ඉවර කරන්න සම්පුර්ණ දවස් 4 කුයි භාගේ දවස් 3 කුයි ගියා. සම්පුර්ණ දවස් කිව්වේ, වෙන කිසිම අමතර වැඩක් නොකර දවස දිස්සෙම සබ් විතරක්ම කරපු දවස් වලටයි. භාගේ දවස් කිව්වේ, උදේ හරි හවස හරි degree එකේ lectures වලට ගිහිල්ලා ඇවිල්ලා දවසේ ඉතුරු හරියේ සබ් කරපු දවස් වලටයි. කොහොමෙන් කොහොමෙන් හරි මට දවස් 7ක් විතර ගියා මේ ෆිල්ම් එකට සබ් කරන්න. සමහර වෙලාවට එච්චර දවස් ගියේ මේ මගේ පළවෙනි සබ් එක නිසා වෙන්න ඇති. ඉතින් යාලුවනේ අපිට ෆිල්ම් එකක් බලන්න යන්නේ පැය 2ක 3ක පොඩි වෙලාවක්. අපි එහෙම ලේසියෙන් ෆිල්ම් එකක් බලලා ඉවර කරාට, ඒ ෆිල්ම් එකට සබ් කරන යාලුවාට නන් සබ් කරන එක, ෆිල්ම් එක බලනවා වගේ ලේසි නෑ. උපැසිරැසි නිර්මාණකරුවන්ගේ දවස්ගානක වෙහෙස මහන්සියේ ප්‍රතිඵලයක් විදියට තමා, අද වෙනකොට දෙයියනේ කියලා අපි හැමෝටම හොඳ සබ් එක්ක ෆිල්ම් බලන්න පුලුවන් වෙලා තියෙන්නේ. ඕගොල්ලොත් සබ් කරලා තියනවනන් මං මේ කියන එක හොඳට තේරෙනවා ඇති. මේ ලෝකේ ඉන්න සියලුම උපැසිරැසි නිර්මාණකරුවන් වෙනුවෙන් මං ඕගොල්ලන්ගෙන් ඉල්ලන්නේ, ඔයාලා ZOOM එකෙන් හරි වෙන site එකකින් හරි සබ් එකක් බාගෙන යනවනම්, ඒ සබ් එක නිර්මාණය කරපු යාලුවාව ධෛර්යමත් කරලා යන්න අමතක කරන්න එපා. මොකද උපැසිරැසි නිර්මාණකරුවන් නිර්මාණය කරන උපැසිරැසි වලට කිසිම මූල්‍යමය වාසියක් ඔවුන්ට ලැබෙන්නේ නෑ. ඔවුන් එහෙම දෙයක් බලපොරොත්තු වෙන්නෙත් නෑ. ඔවුන් බලපොරොත්තු වෙන එකම දේ තමා ඒ උපැසිරැසිය නිර්මාණය කිරීම තුලින් ඔවුන් ලබන සතුට. ඒ සතුට ඔවුන්ට ලබා දෙන්න පුලුවන් ඒ උපැසිරැසිය වෙනුවෙන් පුංචි හෝ අදහසක් දැක්වීමෙන් විතරයි. ඒක නිසා හැකි සෑම විටම සබ් එකක් බාගෙන යනකොට මේ ගැනත් පොඩ්ඩක් හිතන්න කියලා මං ZOOM එකේ යාලුවන්ට මතක් කරන්න කැමතියි.

එහෙනන් යාලුවනේ මගේ සබ් එක බාගෙන යන ගමන්, මේ කුලුදුල් උපැසිරැසි නිර්මාණකරුවාගේ පුංචි උත්සාහය වෙනුවෙන් ඔයාලගේ අදහසත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මේ අපූරු සිනමා සිත්තම සිංහල උපසිරැසි සමඟ රසවිදින්න කියලා මේ චිත්‍රපටිය බලපු නොබලපු හැමෝටම ආරාධනා කරමින් මගේ පළමු උපැසිරසි නිර්මාණයෙන් මං සමුගන්නවා. තවත් මේ වගේ සුපිරි චිත්‍රපටියකින් නැවත හමුවෙමු යාලුවනේ. එතෙක් ඔබට ජය !

සැ.යු :- මෙම චිත්‍රපටයේ ඇතැම් දර්ශන හේතුවෙන්, මෙම චිත්‍රපටය පවුලේ සැමට එකට රසවිදිය නොහැකි චිත්‍රපටයක් බව කරුණාවෙන් සලකන්න.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ වි‍නු‍ර ‍සේ‍ල‍ක ‍ප‍ති‍රා‍ජ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

1 comment:

Powered by Blogger.