Avengers Age of Ultron (2015) සිංහල උපසිරැසි සමඟ.



ඔන්න එහෙනම් මගේ 100වැනි උපසිරැසි නිර්මාණය අරගෙනයි මේ ආවේ...මේකත් හැමෝම වගේ එනකම් මග බලාගෙන හිටපු චිත්‍රපටයක්..ගිය අවුරුද්දේ මුල හරියේ සූම් එකත් එක්ක එකතුවෙලා උපසිරැසි 100ක් දාන්න පුළුවන් වෙයි කියලා ලොවෙත් හිතුවේ නෑ. මුල් ටිකේ ඇඩිම්න් අයියගෙන් බේරිල්ලක් නැති හින්දා බොහොම අමාරුවෙන් උපසිරැසි ටික හදලා දුන්නා. මුලින්ම Knight Rider (2008) සීරියස් එකෙන් තමයි මම වැඩේට නිල වශයෙන් බැස්සේ. පඳුරු තැලුවා ඇති. එහෙනම් මේ කතාව දිහාට පොඩ්ඩක් හැරෙමු.

ඉතින් මේක The Avengers (2012) චිත්‍රපටයේ දෙවැනි කොටස. ඒ වගේම Captain America: The Winter Soldier (2014) චිත්‍රපටයත් මේකට ලාවට වගේ සම්බන්ධයි. ඒ දෙක බලලා නැත්නම් ඒවත් බලලා මේකත් බැලුවානම් කතාව ගැන හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන්. ගිය අවුරුද්දේ ආපු කැප්ටන් ඇමෙරිකා කතාවේ අග හරියෙදී කට්ටියට මතක ඇති නිවුන්නු දෙන්නෙක්ව පෙන්නුවා. මේ කතාව පටන් ගන්නෙත් එතැනින්. එයාලා දෙන්නාව හදලා තියෙන්නේ ලෝකීගේ ආයුධයේ තියෙන තාක්ෂණය භාවිතා කරලා. ඉතින් තෝර් ආයුධය ඇස්ගාඩ් වලට අරන් යන්න ඇවෙන්ජර්ස්ලා එක්ක ආවාම අයන් මෑන් ඒක එයාගේ ලැබ් එකට ගෙනිහිල්ලා පර්යේෂණ කරනවා. මේකෙදී අපේ අයන් මෑන් අල්ට්‍රන් කියලා ලෝක සාමය රැකීමේ පරිගණක වැඩසටහනක් හදන්න අදහස් කරගෙන ඉන්නවා. ‍මොකද කලින් ඇවෙන්ජර්ස් කතාවේදී පිටසක්වළ ජීවීන් ආපු හැටි දැක්කාම මෙයාට ආරක්ෂාව ගැන පොඩි බයක් ඇතිවෙනවා, එයා හිතනවා ඊළඟ වතාවේ ඒ වගේ කට්ටියක් ආවොත් ඇවෙන්ජර්ස්ලාට පරදින්න වෙයි කියලා. ඉතින් මෙයා ලෝකීගේ ආයුධයේ තියෙන තාක්ෂණයෙන් අල්ට්‍රන්ව හදන්න ගිහිල්ලා වැඩේ වරදිනවා. එතැනින් තමයි කතාව උඩි යටිකුරු වෙන්නේ. එහෙනම් ඒ ටික බලලාම රසවිඳින්න.

තව චිත්‍රපයට ගැන අමතර කරුණු ටිකක් කියන්නම්. මේකෙදී ගොඩක් අයගේ අවධානය දිනාගත්තේ අයන් මෑන් හල්ක් එක්ක තියෙන සටන. එයා හල්ක් එක්ක සටන් කරන්න වෙනමම ඇඳුමක් නිර්මාණය කරනවා. ඒකේ නම තමයි වෙරෝනිකා (Veronica). සමහර අය මේකට බුකියේ Hulk buster කියලා නමක් දාලා තිබුණා. මම නම් හිතන්නේ Hulk buster කියන නම තමයි ඒකට ගැළපෙන්නේ. කොහොමහරි මේකෙන් හල්ක්ගේ දතක් කැඩෙන්නම ගහනවා නොවැ. ;-) තව තෝර්ගේ මිටිය උස්සන එකත් හැමෝගෙම අවධානය දිනාගත්තා. තෝර් කියනවා එයාගේ මිටිය උස්සන්න පුළුවන් කෙනාට ඇස්ගාඩ් පාලානය කරන්න පුළුවන් වෙනවා කියලා. ඉතින් අපේ ඇවෙන්ජර්ස්ලා සෙට් එක මිටිය උස්සන වැඩේට බ්‍හිනවා. ඒ වුණාට කාටවත් මිටිය උස්ස ගන්න බෑ. කලින් කතාවෙදී මතක ඇති හල්ක්ටවත් ඒ වැඩේ කරන්න බැරිවුනා. ඒ වුණාට ඇවෙන්ජ්ර්ස්ලාට වඩා බලවත් කෙනෙක්ට ඒ වැඩේ ලේසියෙන්ම කරනවා. හැබැයි ඒ ඇස්ගාඩ් වල කෙනෙකුත් නෙමෙයි. ඔයාලම බලාගන්නකෝ ඒ වැඩකාරයා කවුද කියලා. ඒ වගේම ඔයාලා හොඳට බැලුවොත් පෙනේවි කතාවෙදී ටෝනි ස්ටාක් ඇඳගෙන ඉන්නේ බ්රූස් ලී ගේ පින්තූරය තියෙන කමිසයක් කියලා. ඒකත් මතක ඇතුව බලන්න. ඒ වගේම ටෝනි ස්ටාක්, කැප්ටන් ඇමෙරිකාට කතා කරන්නේ වයසක මිනිහා කියලා. කට්ටියට මේක ගැටලුවක් වෙලා ඇති. කලින් කතාවලදීත් මේ ආකාරයටම කැප්ටන්ට කතා කරා. එහෙම කතා කරේ එයා අවුරුදු එකසිය ගානක් වයසක හින්දා. ‍මොකද කැප්ටන් ඇමෙරිකා කියන්නේ අවුුරුදු ගානක් අයිස් යට නිදාගෙන හිටපු කෙනෙක් නේ. තව මේකෙදී කතාවේ ප්‍රධාන චරිතයක් වන 'විශන්'වත් ඔයාලට බලාගන්න පුළුවන් වෙයි. තව ජාවිස්ට පණ ආවට පස්සේ :-) අයන් මෑන්ගේ අලුත් කෘත්‍රිම බුද්ධියේ නම තමයි Friday. ඉතින් මං ඒ වචනය එහෙමම දැම්මා. මොකද ඒකට තේරුමක් දාන්න බැරි හින්දා. තව මේ කතාවෙදී ක්‍රෙඩ්ල් (Cradle) කියලා උපකරණයක් තියෙනවා. ඒකෙන් පටක නිර්මාණය කරන සීන් එකක් තමයි තියෙන්නේ. ඒත් ඒ වචනේ හරි තේරුම තොටිල්ල කියලා මම දැම්මේ නෑ. ඒකත් හිතේ තියාගෙනම කතාව බලන්න. ඒ වගේම කතාව අවසානයේදී අලුත් ඇවෙන්ජර්ස්ලා තුන් දෙනෙකුත් කණ්ඩායමට එකතුවෙනවා. ඒ වගේම කතාව ඉවරවෙලා නම් ටික ගියාට පස්සේ අන්තිම හරියෙදිත් පොඩි සීන් එකක් යනවා. ඒක නම් අනිවාරෙන්ම බලන්න. මොකද Guardians of the Galaxy (2014) එකේ හිටපු දුෂ්ට චරිත වගයකුත් මේකට සම්බන්ධ වෙනවා වගේ පේන්නේ. ඒ සීන් එකනම් කිව්වේ අපේ නිසල් සහෝදරයා හොඳේ. ඒ වගේම මේ චිත්‍රපයට සම්බන්ධ තව ‍කොටසක් 2016දී එන්නත් තියෙනවා.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කවිදු චාමිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.