2 States (2014) සිංහල උපසිරැසි සමඟින්




ඔන්න සෑහෙන පරක්කු වෙලා මම අරගෙන ආවා ඔයාලා හැමෝම බලන්න ආසාවෙන් හිටපු අපූරු සිනමා නිර්මාණයක්. උපසිරැසි පරක්කු නිසා ගොඩක් අය කලින්ම මේක බලන්නත් ඇති. හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මේක දෙන්න පරක්කු වුනාට. මේක මේ වසරේ තිර ගත වුන චිත්‍රපටි අතරෙ සුපර් හි‍ට් එකක් වුන අනගි සිනමා නිර්මාණයක්. මේකෙ ආදායමත් කෝටි 100 සීමාව ඉක්මවා යන්නට සමත් වුනා. Chetan Bhagat කියන ඉන්දියානු ගත්කතුවරයා විසින් රචනා කරපු '2 States' කියන නව කතාව පාදක කරගෙන තමයි මේ සිනමා සිත්තම නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නව කතාව ශ්‍රී ලංකාවෙත් ගොඩක් ජනප්‍රිය වුනා කියල දැන ගන්න ලැබුනා. මට නම් කියවන්න ලැබිල නෑ. ‍නොකියවපු එකත් හොඳයි කියල හිතෙනවා මොකද කියවල තිබුන නම් මේ චිත්‍රපටිය නැවුම්ව විඳින්න බැරි වෙනවා.


කතාව ගැන කෙටියෙන් කිවුවොත් ක්‍රිෂ් පංජාබ් තරුණයෙක්, අනන්‍යා දමිළ තරුණියක්. දෙන්නම තමන්ගෙ උපාධි අපේක්ෂාවෙන් එකම විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපනය හදාරද්දි මේ දෙන්නා අතර ආරයක් ඇති වෙනවා. හැබැයි මේ ආදරේට දෙන්නගෙ පෙළපත හරස් වෙනවා. දෙන්නා ඉන්දියාවෙ ප්‍රාන්ත දෙකක ආගම් දෙකක් අදහන පෙළපත් දෙකක දෙන්නෙක් නිසා ගෙවල් වලිනුත් මේ සම්බන්දෙට ලොකු විරෝදයක් තමයි එල්ල වෙන්නෙ. කොහොම වුනත් මේ දෙන්න අධිෂ්ඨාන කර ගන්නවා පවු‍ල් දෙකේ ආශිර්වාදයත් ඇතිව කවදා හෝ එක වහලක් යටට වෙනවා කියලා. මේ දෙන්නගෙ උපාධි උත්සවේ දවසේ ගෙවල් දෙකේ අයව මුණ ගස්සලා වැඩේ පිළිවෙලක් කර ගන්න හැදුවත් ඒක සාර්ථක වෙන්නෙ නෑ. ‍පවුල් දෙක එතනදිම අමනාප වෙනවා.

කොහොමින් කොහොම හරි අනන්‍යා තමන්ගෙ රැකියාව චෙන්නයි නගරරෙන්ම හොයා ගන්න නිසා ක්‍රිෂ්ටත් සිද්ද වෙනවා චෙන්නයි න‍ගරෙට පත්වීමක් අරන් යන්න. ඒකට ගෙදරින් කැමති වුනෙ නැතත් ක්‍රිෂ් ඒ ගැන නොසලකා ‍චෙන්නයි යනවා. ක්‍රිෂ්ගෙ තාත්තා ක්‍රිෂ් සහ එයාගෙ අම්මා එක්ක ‍සතුටින් ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. ක්‍රිෂ් චෙන්නයි යන්න ඒකත් බලපානවා. ක්‍රිෂ් චෙන්නයි වලට ගියාම අනන්‍යගෙ ගෙදර අයව මේ විවාහයට කැමති කරව ගන්න ලොකු ලොකු කැපකිරීම් කරන්න වෙනවා. ක්‍රිෂ් මාර කට්ටක් කනවා අනන්‍යගෙ පවුලෙ අයව කැමති කරව ගන්න. එයාට ඒක කරන්න පුලුවන් වෙයිද, මේ පෙළපත් දෙකේ ගැටුමෙ අවසානය මොන විදියට වෙයිද කියන එක වගේම ක්‍රිෂ්ගෙ පවුලෙ අයව කැමති කරවගන්න අනන්‍යා මොන වගේ කැපකිරීම් කරයිද කියන එකත් මේ චිත්‍රපටියෙ අන්තර් ගත වෙලා තියෙනවා.

මම මේ කතාව බොහොම සරලව කිවුවට මේ සිනමා නිර්මාණය ලොකු කාලීන වැදගත්කමක් තියෙන සමාජීය ප්‍රශ්නයක් මැනවින් විවරණය කරන බොහොම වටිනා කියන සිනමා නිර්මාණයක් බවනම් කියන්නම ඕන. ඒ වගේම මේ සිනමා නිර්මාණයේ අන්තර් ගත වෙලා තියෙන මියුරු සංගීතයත් ඉහළින්ම අගය කරන්න ඕන. මම මේ වසරේ අහපු සුන්දරම ගීත කිහිපයක් මේ චිත්‍රපටියෙ අඩංගු වෙලා තියෙනවා. එහෙනම් හැමෝටම මේ අපූරු සිනමා නිර්මාණට විඳින්න ආරාධනා කරන ගමන් මම සමුගන්නවා වින්දනීය දවසක් ප්‍රාර්ථනා කරමින්. සතුටින් ඉන්න!











No comments

Powered by Blogger.