Finding Fanny (2014) සිංහල උපසිරැසි සමඟ




Being Cyrus (2005) හා Cocktail (2012) යන චිත්‍රපට ද්විත්වයෙන් රසික අවධානය තමා වෙත නතු කරගත් සිනමා අධ්‍යක්ෂක Homi Adajania ගේ නවතම සිනමා සිත්තමයි Finding Fanny. ඉන්දීය රුපියල් කෝටි 15ක වියදමක් දරා නිෂ්පාදනය කරමින් ඉන්දීය රුපියල් කෝටි 43ක අදායමකට හිමිකම් කියූ මෙම චිත්‍රපටය Dinesh Vijan ගේ නිෂ්පාදනයක්. Fox Star Studios ආයතනයේ බෙදාහැරීමක් වන මෙම සිනමා නිර්මාණය සැප්තැම්බර් මස 12 වන දින තිරගතවීම ඇරඹූ අතර මිනිත්තු 106ක ධාවන කාලයකින් යුක්තයි. අධ්‍යක්ෂක Homi Adajania ගේ සහ Kersi Khambatta ගේ තිර රචනයක් වන මෙම චිත්‍රපයට Comedy / Drama / Romance ලෙස වර්ගීකරණය තිබේ. IMDB දර්ශක අගය 6.2/10 ක් ලෙස සටහන් ලෙස සටහන් වී ඇති මෙම චිත්‍රපටයේ සිනමාකරණය Anil Mehta ගෙනි. සංගීත නිර්මාණයෙන් Mathias Duplessy සහ Sachin-Jigar දායක වී ඇති අතර සංස්කරණයෙන් Sreekar Prasad සහ Nick Moore දායකත්වය සපයා තිබේ.

ප්‍රවීණ බොලිවුඩ් නළු නස්රූදීන් ෂා, ඩිම්පල් කපාඩියා සහ පන්කජ් කපූර් සමගින් සුරූපී නිළි දීපිකා පදුකෝනි කඩවසම් නළු අර්ජුන් කපූර් සමගින් මෙම චිත්‍රපටයට රංගන හැඩතල මුසු කර තිබේ. මම පෞද්ගලිකව බොහෝ ඇලුම් කරන බොලිවුඩ් රංගන ශිල්පියෙක් වන නස්රුදීන් ෂාගේ විශිෂ්ඨ රංගනය මේ චිත්‍රපටය තුළද ප්‍රභලව ඉස්මතු වී පෙනේ. සෙසු රංගන ශිල්පීන්ගේ රංගනයන්ද ප්‍රශස්ත මට්ටමක පවතින බව කිව යුතුමයි. යොවුන් කළ හදෙහි උපන් ප්‍රථම ප්‍රේමය වෙනුවෙන් දිවි හිමයෙන් කැප වූ ෆර්ඩි මහළු වයසට එළෙඹීමෙන් අනතරුව නැවත වතාවක් තම ආදරවන්තිය සොයා යන ආදර චාරිකාවට සහභාගීවන චරිත 5ක් වටා ගෙතී සිනහව, කඳුල සමව මුසු වූ වෙනස්ම මුහුණුවරක කතාවක් ඔබට මේ චිත්‍රපටය තුළින් දැක ගන්නට ලැබේවි.

යොවුන් වියේදී තම තම සිත තුළ උපන් ආදරය ප්‍රකාශ කරමින් ෆර්ඩි (නස්රුදීන් ෂා) විසින් ඔහුගේ සිත් ගත් යෞවනියට යැවූ පෙම් හසුන වසර 46කට පසුව එක් රාත්‍රියක ෆර්ඩිටම පෙරලා පැමිණෙනවා. ඔහුගේ එම පෙම් හසුන කෙදිනකවත් ඇයට ලැබී නොමැති බව ෆර්ඩිට වැටහෙන්නේ එවිටයි. එම වසර 46 පුරාවටම ෆර්ඩි සිතා සිටින්නේ ඇය ලිපිය කියවීමෙන් පසු තමා හට අකමැති නිසාවෙන් පිළිතුරු ලිපියක් නොයෙවන්නට ඇති බවයි. එසේ සිතමින් තමාගේ සිතෙහිම ඉපදී සිතෙහිම මියැදුණු ප්‍රථම ප්‍රේමය වෙනුවෙන් ඔහු දිවිය පුරාවට තනිකඩවම සිටිනවා.ලිපිය නැවත ලැබීමෙන් පසු බොහෝ සිත් තැවුලට පත්වන ෆර්ඩිගේ පිහිටට පැමිණෙන්නේ ඇන්ජි (දීපිකා පදුකෝනි) නම් වූ අපගේ කතා නායිකාවයි.

ෆර්ඩිගේ යොවුන් කළ ආදරවන්තිය ෆැනී සොයා යන චාරිකාව සැලසුම් කරන්නේ ඇන්ජි විසිනි. ඇන්ජි යනු විවාහ වූ දිනම තම සැමියා මරණයට පත්වීමෙන් පසු තම නැන්දම්මා වන රොසලින් (ඩිම්පල් කපාඩියා) සමගින් දිවි කතරේ අතරමං වූ යුවතියකි. ඇයගේ නැන්දම්මා ගමටම අණ දෙන තරමක් රළු ගති පැවතුම් ඇති තැනැත්තියකි. මෙම ආදර චාරකාවට ෆර්ඩි, ඇන්ජි සමගින් ඇයගේ නැන්දම්මා රොසලින්ද එක් වෙයි. චාරිකාවට ප්‍රවාහන පහසුකම් සපයන්නේ දොන් පෙඩ්රෝ (පන්කජ් කපූර්) නැමති චිත්‍ර ශිල්පියා විසිනි. ඔහුගේ චරිතය ගැන හොඳ අවබෝධයක් චිත්‍රපටිය නරඹන ඔබට ලැබේවි. ඔහු ඔහුගේ කාර් රථයත් සමගින් මෙම චාරිකාවේ හවුල්කරුවෙක් බවට පත් වෙයි. රියදුරා ලෙස එක්වන්නේ ඇන්ජිගේ ළමා කාලයේ හොඳම මිතුරාව සිට ඇය විවාව වන දින ගම හැර ගිය මිතුරා සාවියෝය (අර්ජුන් කපූර්). ෆර්ඩිගේ ප්‍රථම ප්‍රේමය වන ෆැනීව සොයා යන මේ චාරිකාව කෙලෙසක නිමා වෙයිද කියා දැන කියා ගැනීම ඔබටම බාර කරනවා. ඔබ නොසිතූ විරූ ආකාරයකට මේ ආදර චාරිකාව නිමා වේවි කියන බලාපොරොත්තුව පමණක් ඔබට ඉතිරි කර හරිමින් මම සමු ගන්නවා. ඔබට සුභ දවසක්, සතුටින් ඉන්න!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.