Haider (2014) (60th Film Fare Best Movie) සිංහල උපසිරැසි සමඟ.



2014 වර්ෂය අවසාන භාගයේ තිරගත වූ හේදර් චිත්‍රපටය පසුගිය වසරේ වසරේ තිරගතවූ අති විශිෂ්ඨ සිනමා නිර්මාණ අතලොස්ස අතරට කිසිදු විවාදයකින් තොරවම ඒක් වන බවයි මාගේ අදහස. මාගේ පුද්ගලික හැඟීමට අනුව නම් ගිය වසරේ තිරගත වූ පීකේ චිත්‍රපටයට පමණයි හේදර් චිත්‍රපටය දෙවෙනි වන්නේ. එකිනෙකාගේ රසවින්දන පරාසය අනුව එම ස්ථානය වෙනස් වන්නටත් පුලුවන්. පීකේ චිත්‍රපටයටත් වඩා හේදර් චිත්‍රපටය ගුණාත්මක භාවයෙන් ඉහළ බව සමහර සිනමා රසිකයන්ගේ සහ සිනමා විචාරකයන්ගේ අදහස වී තිබෙන්නේ එම හේතුව නිසා වන්නට ඇති.

පසුගිය සෙනසුරාදා රාත්‍රියේ මුම්බායි නගරයේදී පැවැත්වුනු 60වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී හේදර් චිත්‍රපටයේ කළ විශිෂ්ඨ රංගන‍ය වෙනුවෙන් හොඳම නළුවා, හොඳම සහාය නළුවා සහ හොඳම සහාය නිළිය යන සම්මාන ත්‍රිත්වය තමන් සතු කර ගැනීමට පිළිවෙලින් ෂාහීඩ් කපූර්, කේ කේ මෙනන් සහ තාබු සමත් වුනා. ඊට අමතරව Best Costume සහ Best Production Design යන සම්මාන ද්විත්වයට හිමිකම් කීවෙත් හේදර් චිත්‍රපටයමයි. හොදම චිත්‍රපටිය සහ හොදම අධ්‍යක්ෂණය යන සම්මාන ද්විත්වය වෙනුවෙනුත් නාම යෝජනා අතරට එක් වී තිබූ හේදර් චිත්‍රපටයේ විශිෂ්ඨත්වය ගැන තවත් අටුවා ටීකා කුමට? ෂාහීඩ් කපූර්ගේ ප්‍රේක්ෂක සිත් සතන් මෝහනය කරවන සුළු වූ අති විශිෂ්ඨ රංගනය හා මුසු වූ තාබූගේත් කේ කේ මෙනන්ගේත් රංගන ප්‍රතිභාව චිත්‍රපටයට අමිළ වටිනාකමක් එක් කර තිබෙන බව නැවත වරක් සිහිපත් කරන්නට කැමතියි.

ශ්‍රේෂ්ඨ ලේඛකයෙකු සහ නාට්‍යකරුවෙකු ලෙසින් ලෝක ප්‍රසිද්ධ විලියම් ෂේක්ස්පියර් විසින් රචිත සුප්‍රසිද්ධ හැම්ලට් නාට්‍යයේ හින්දි අනුවාදය ලෙසින් අති දක්ෂ සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන විශාල් බාරද්වාජ් විසින් සිනමාවට නැගූ හේදර් චිත්‍රපටය පසු ගිය වර්ෂයේ ඔක්තෝබර් 2 වන දින ඉන්දියාවට සමගෘමීව ලෝව පුරා තිරගත වීම ඇරඹුනා. ඇමෙරිකානු ඩොලර් මිලියන 3.8ක පිරිවැයකින් නිර්මාණය වූ හේදර් චිත්‍රපටයේ සමස්ථ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 9.2ක් විදියටයි සටහන් වන්නේ‍.මෙම චිත්‍රපටය තිරගත වූ කාලයේම හැපී නිවු ඉයර් චිත්‍රපටය තිරගත නොවන්නට හේදර් චිත්‍රපටයේ ආදායම මීට බොහෝ සෙයින් ඉහළ යන්නට තිබුනා. ජාත්‍යන්තර සිනමා දර්ශක අගය 8.6ක් වැනි ඉහළ අගයක් රඳවාගන්නට සමත්ව ඇති හේදර් චිත්‍රපටය Crime, Drama, Romance යන වර්ගීකරණයට අයත් වනු ලබනවා.

ඉන්දු පාකිස්ථාන දේශ සීමාව ලෙස සැලකෙන කාශ්මීරයේ 1995 වර්ෂයේදී බෙදුම්වාදී කණ්ඩායම් පාකිස්ථානයේ සහයද ඇතිව ඉන්දියානු හමුදාවන්ට එරෙහිව අරගල කරන සමයක එවැනි බෙදුම්වාදී කණ්ඩායමක නායකයෙකු තදබල ලෙස රෝගාතුර වෙනවා. එම කැරළි කණ්ඩායමේ නායකයාට ප්‍රතිකාර කරන්නට ඉදිරිපත් වන්නේ හිලාල් මීර් කියන වෛද්‍යවරයා. ඔහු ත්‍රස්තවාදයට අනුබල දෙන්නෙකු නොවුනත් වෛද්‍යවරයෙක් හැටියට ඔහුගේ වගකීම රෝගියෙක් මරණයෙන් ගලවා ගැනීම නිසයි ඔහු තම නිවස තුළම ඉන්දියානු හමුදාවන්ටත් හොර රහසේ එම කැරළි නායකායට සැත්කමක් සිදු කරන්නේ. නමුත් ඉන්දියානු හමුදාව දියත් කරන සෝදිසි මෙහෙයුමක් නිසාවෙන් කැරළි නායකයාව රදවා ගෙන සිටීමට වරදකරු ලෙස හිල්ලා මීර්ව හමුදා අත්අඩංගුවට පත් වෙනවා. ඒ වගේම ඔහුගේ නිවස හමුදාවන් විසින් විනාශ කර දමනු ලබනවා. අත්අඩංගුවට පත් වූ වෛද්‍යවරයා ගැන කිසිදු හෝඩුවාවක් නැතිව යනවා. ඔහු කොතැනක රදවා සිටින්නේදැයි ඉන්දියානු හමුදාව හෙළි කරන්නේ නැහැ.

මේ අතර උසස් අධ්‍යාපන කටයුතු සදහා වෙනත් නගරයකට ගොස් සිටින හිලාල්ගේ පුතණුවන් වන හේදර් (ෂාහීඩ් කපූර්) නැවත කාශ්මීරයට පැමිණ තමන්ගේ පියාණන්ගේ අතුරුදහන් වීම පිළිබදව සොයන්නට පටන් ගන්නවා. පියා සොයා යන ගමනේ හේදර්ගේ පෙම්වති‍ය වූ ආර්ෂියා (ශ්‍රද්ධා කපූර්), හේදර්ගේ මව වූ ගසාලා (තාබු) හේදර්ගේ පියාගේ සහෝදරයා වූ කුරාම් (කේ කේ මෙනන්) සහ රූධාර් (ඉර්ෆාන් ඛාන්) යන චරිත හේදර් වටා ගොඩනැගෙන්නා වූ ආකරයත්, හේදර් බාහිර සමාජය හා ගණුදෙනු කරන අකාරයත්, හේදර්ගේ පියාගේ අතුරුදහන් වීමට වගකිවයුත්තන් හා හේදර් අතර ඇතිවන ඝට්ටනයත් අවසානයේදී හේදර් පියාගේ අතුරුදහන් වීම සම්බන්ධව තොරතුරු හෙලි කරගන්නා ආකාරයත් මෙම සිනමා නිර්මාණයේ අපූරුවට පෙළ ගස්වා තිබෙනවා. ඔබ බලාපොරොත්තු නොවූ ආකාරයේ අවසානයක් සමගින් අති විශිෂ්ඨ සිනමා අත්දැකීමක් විදගැනීමේ ඉඩ හසර ඔබට ලැබෙන බවත් හේදර් යනු බොලිවුඩ් රසිකයන් මග නොහැර නැරඹිය යුතු අග්‍රගණ්‍යය සිනමා නිර්මාණයක් බවත් මතක් කරමින් මා සමුගන්නවා තවත් චිත්‍රපටයක් සමගින් ඔබ හමුවන බලාපොරොත්තු ඇතිව. ඔබට සුභ දවසක්, සතුටින් ඉන්න!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

[LEFT]
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.