PK (2014) සිංහල උපසිරැසි සමඟ.




එදා මෙදා තුර බොලිවුඩ් චිත්‍රපටයක් උපයා ගත් ඉහළම ආදායම වාර්තා කරමින් බොක්ස් ඔෆිස් වාර්තා උඩි යටිකුරු කරමින් ඉන්දියාවට සමගාමීව ‍ලොව පුරා තිරගත වූ PK (2014) චිත්‍රපටයයි අද මෙලෙසින් ඔබ වෙත පිරිනැමෙන්නේ.HD පිටපතට ගැලපෙන ඉංග්‍රීසි උපසිරැසියක් අන්තර්ජාලයට නිකුත්වන්නට ප්‍රමාද නොවන්නට මේ චිත්‍රපටයේ උපසිරැසි කල් ඇතුව ලබා දෙන්නට තිබුනා. අවසානයේ හොඳ ඉංග්‍රීසි උපසිරසියක් අන්තර්ජාලයට නිකුත් වුනා. ලයින් නම් 2100කට වඩා තිබුනා. හැබැයි ඊට වඩා වැඩි වුනත් මේ චිත්‍රපටය නම් උපසිරැසි ගන්වනවා බොහොම කැමැත්තෙන්.

ඉන්දියවේ තිරගත වූ පළමු දිනය තුළ රුපියල් කෝටි 26ක් උපයාගත් පීකේ චිත්‍රපටය පළමු සති අන්තය වන විට එම ආදායම තත්ත්වය කෝටි 95ක් දක්වා ඉහළ දමා ගැනීමට සමත් වුනා. තිරගත වීම ආරම්භ කර සතියක් ගෙවෙද්දී එහි ආදායම වාර්තා වුනේ කෝටි 192ක් ලෙසටයි. එය 2014 වර්ෂයේ චිත්‍රපටයක් විසින් සතියක් තුළ උපයා ගත් වැඩිම ආදායම ලෙසද වාර්තා වුනා. චිත්‍රපටය තිරගත වී අවසන් වන විට ඉන්දියාව තුළ පමණක් රුපියල් කෝටි 340ක වාර්තාගත මුදලක් උපයා ගත් පීකේ චිත්‍රපටය ලොව පුරා තිරගත වීමෙන් ලද මුළු ආදායම කෝටි 600 ඉක්මවා ගියා. මීට පෙර බොලිවුඩ් චිත්‍රපටයක් විසින් උපයාගෙන තිබූ වැඩිම ආදායම් වාර්තාවට හිමිකම් කීවේ අමීර් ඛාන් විසින්ම ප්‍රධාන චරිත නිරූපණය කල චිත්‍රපටයක් වුන Dhoom 3 (2013) චිත්‍රපටය. එහි මුලු ආදායම රුපියල් කෝටි 542ක් ලෙසයි වාර්තා වුනේ.

ආදායම් තත්ත්වය එසේ වෙද්දී චිත්‍රපටය ලැබූ ඇගයීම් ගැනත් සඳහන් නොකර බැහැ. ‍‍ලොව පුරා සිනමා චිචාරකයන්ගේ නොමද පැසසුමට ලක් වූ PK චිත්‍රපටය පසුගිය ජනවාරි මස 31 වන දින පැවති ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම තිර රචනය, හොඳම කතාව, හොඳම දෙබස්, හොඳම සංස්කරණය, සහ හොඳම වේශ නිරූපණය යන සම්මාන සඳහා නිර්දේශයන් අතරට එක් වෙමින් එහිදී සම්මාන කිහිපයක් දිනා ගැනීමටත් සමත් වුනා. පීකේ චිත්‍රපටය වෙනුවෙන් හොඳම නළුවා සම්මානය දිනා ගැනීමට අමීර් ඛාන් අසමත් වුවත් මෙම චිත්‍රපටයේ ඔහු කළ රංගනය අති විශිෂ්ඨ බව නම් සිහිපත් කළ යුතුමයි. මම උපසිරැසි ගැන්වූ චිත්‍රපට අතරින් මා පෞද්ගලිකව වඩාත්ම කැමති චිත්‍රපටයත් PK. මා නරඹා ඇති හොඳම බොලිවුඩ් චිත්‍රපට 10 අතරටත් PK එකතු කර ගන්නට තරම් මට පෞද්ගලිකව ‍මේ චිත්‍රපටය සංවේදී වුනා.

ෆිල්ම් ෆෙයාර් හැරුණුකොට තවත් සම්මාන උළෙලවල් ගණනාවකදී සම්මානයට පාත්‍ර වූ PK චිත්‍රපටයට රසික ප්‍රතිචාරද ඉහළින්ම ලැබුණා. IMDB දර්ශක අගය 8.5/10ක් ලෙසින් වාර්තා වීමම එයට හොඳ නිඳසුනක්. 3 Idiots (2010) චිත්‍රපයටයේ නිර්මාපකයා වූ Rajkumar Hirani ගේ අධ්‍යක්ෂණ කාර්යයක් ලෙසින් නිම වූ PK චිත්‍රපයේ සංස්කරණ දායකත්වයත් ඔහුගේමයි. සිනමාකරණයෙන් C.K. Muraleedharan සහ සංගීතයෙන් Atul Gogavale සමගින් Shantanu Moitra දායක වී ‍තිබෙනවා. ප්‍රධාන නළු නිළි යුවල ලෙසින් අමීර් ඛාන් (පීකේ) සහ අනුෂ්කා ෂර්මා (ජග්ගූ) රංගනයෙන් දායක වන අතර බෝමන් ඉරානි, සුෂාන්ත් සින්ග්, සන්ජේ දත්, සෞරබ් සුක්ලා වැනි දක්ෂ රංගන ශිල්පීන් රැසකගේ දායකත්වයද මෙම චිත්‍රපටයට ලැබී තිබෙනවා.

පිටසක්වල ජීවීයෙකු පෘථිවියට ගොඩ බසින දර්ශණයකින් තමයි චිත්‍රපටය ආරම්භ වන්නේ. ඔහු ගොඩබසින්නේ ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රදේශයට. ඔහු තමන්ගෙ ලෝකය සමගින් සන්නිවේදනය කිරීම සඳහා භාවිතා කරන උපකරණය කිසියම් පුද්ගලයෙක් විසින් පැහැර ගනු ලබනවා. තමන්ගේ ලෝකය වෙත නැවත යාමට නම් ඔහු එම උපකරණය සොයාගත යුතුම වනවා. ඔහුට මුණ ගැසෙන මිනිසුන් පවසන්නේ එම උපකරණය සොයා දීමට හැක්කේ දෙවියන්ටම පමණක් බවයි. දෙවියන් පිළිබඳවවත්, ආගම් පිළිබඳවවත් කිසිදු අවබෝදයක් නැති ඔහු උපකරණය සොයා දිය හැකි එම දෙවිවරයා සිටින්නෙ කොහිදැයි සොයමින් යනවා. නගරය පුරා දෙවියන් සොයා යන ගමනේ ඔහු මුහුණ දෙන සිදුවීම් මාලාවක අපූරු පෙළගැස්මක් ලෙසින් නිර්මාණය වී ඇති PK චිත්‍රපටය හරහා අන්ධ විශ්වාසයන් මතම ඇලී ගැලී දිවි ගෙවන මිනිසුන්වත්, ආගම් තුළ‍ට අන්තගාමී ආකල්ප ආරෝපණය කරන්නන් හා ආගම උකසට තබා මිනිසුන් මුලාවේ හෙළමින් බඩ වඩාගන්නන්වත් සියුම්ව උපහාසයට ලක් කරමින් හොඳ පණිවිඩයක් ශක්තිමත් ලෙසින් සමාජගත කිරීමට සමත් වී තිබෙනවා. චිත්‍රපටය පුරාවටම ප්‍රෙක්ෂකයා සිනහ ගන්වන්නට සමත්වූ අධ්‍යක්ෂකවරයා චිත්‍රපටයේ අවසානයට ඉතාමත් සංවේදී මුහුණුවරක් ලබා දී තිබෙනවා. බොලිවුඩ් රසිකයන්ට වගේම බොලිවුඩ් විරෝධීන්ටත් මෙම චිත්‍රපටය ඉහළින්ම නිර්දේශ කරන්නට කැමතියි. තවත් චිත්‍රපටයක් සමගින් හමු වන බලාපොරොත්තුව ඇතිව මම සමුගන්නවා ඔබට සුභ දවසක්, සතුටින් ඉන්න!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.