Bajrangi Bhaijaan (2015) සිංහල උපසිරැසි සමඟ



මාස 2ක විතර විරාමෙකින් පස්සේ තමයි සබ් එකක් කළේ. මේ චිත්‍රපටය මට ටිකක් විශේෂයි. මම සල්මාන් ඛාන්ගේ චිත්‍රපටයකට උපසිරැසි නිර්මාණය කරපු පළවෙනි අවස්තාව තමයි මේක. අනිත් කාරණය තමයි DVD හෝ HD පිටපතක් නිකුත් වෙන්න කලින් උපසිරැසියක් කරපු පළවෙනි අවස්තාවත් මේක. මම සාමාන්‍යයෙන් CAM කොපි වලට උපසිරැසි කරන්න කැමති නෑ. නමුත් මේ චිත්‍රපටයට සබ් දෙන්න කියලා ඉල්ලීම් ගොඩාක් තිබුණු නිසාත්, චිත්‍රපටියට හොඳ ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වී තිබුණු නිසාත්, පහතින් ලබා දී තිබෙන Censor පිටපත නරඹන්නට පුලුවන් මට්ටමේ ගුණාත්මක භාවයකින් තිබෙන නිසාත් DVD පිටපතක් නිකුත් වෙන්නට කලියෙන්ම මේ චිත්‍රපටියට සබ් කරන්න තීරණය කළා. හදිසිකාරයෝ මේ පිටපත අරගෙන බලන්න. අනිත් අය DVD පිටපතක් නිකුත් වන තුරු ඉන්න. අනිවාර්යෙන්ම DVD පිටපතට සබ් එක අප්ඩේට් කරනවා.

සල්මාන්ගේ සිනමා දිවියේ අතිශය වැදගත් සංදිස්ථානයක් ලෙස Bajrangi Bhaijaan (2015) චිත්‍රපටය කිසිදු විවාදයකින් තොරවම හඳුන්වන්නට පුලුවන්. එදා මෙදා තුර සිනමා ඉතිහාසයේ සල්මාන් ඛාන් රංගනයෙන් දායක වූ චිත්‍රපටයක් උපයා ගත් වැඩිම අදායමට හිමිකම් කියන්නේ 'බජරංගී බායිජාන්' චිත්‍රපටය වන අතර ඉන්දියාව තුළ තිරගත කිරීමෙන් පමණක් ඉන්දියානු රුපියල් කෝටි 300කට වඩා වැඩි අදායමක් උපයාගත් චිත්‍රපටය ලොව පුරා තිරගත කිරීමෙන් ලද සමස්ථ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 550කට වඩා වැඩි බවයි වාර්තා වෙන්නේ.අවුරුදු 100ක පමණ අතීතයක් හිමි බොලිවුඩ් සිනමා ඉතිහාසයේ ඕනෑම චිත්‍රපටයක් විසින් උපයා ගන්නා ලද වැඩිම ආදායමට හිමිකම් කියන චිත්‍රපට අතරේ දෙවන ස්ථානය තහවුරු කරගැනීමටත් මේ වන විට 'බජරංගී බායිජාන්' චිත්‍රපටය සමත් වී අවසන්. බජරංගී බායිජාන් චිත්‍රපටය දෙවැනි වී තිබෙන්නේ අමීර් ඛාන් රංගනයෙන් දායක වූ PK (2014) චිත්‍රපටයට පමණයි. පීකේ චිත්‍රපටය ලොව පුරා තිරගත කිරීමෙන් උපයාගත් සමස්ථ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 735ක් පමණ වනවා. බජරංගී බායිජාන් චිත්‍රපටය තවමත් තිරගත වෙමින් පවතින් නිසා මෙම ආදායම් වාර්තා ඉදිරියේදී වෙනස් වන්නට පුලුවන්.

බොක්ස් ඔෆීස් වාර්තා බිඳහෙළමින් තිරගත වන'බජරංගී බායිජාන්' චිත්‍රපටය සිනමා විචාරකයන්ගේද ඇගයීමට බඳුන් වී තිබෙනවා. සල්මාන්ගේ සිනමා දිවියේ ඔහුගෙන් දුටු හොඳම රංගනය දුටුවේ බජරංගී බායිජාන් චිත්‍රපටයෙන් බවයි සල්මාන්ගේ සමීප මිතුරෙක් වන අමීර් ඛාන් මාධ්‍ය හමුවේ පවසා තිබුනේ. 8.4/10ක් ලෙසින් ඉහළ IMDB දර්ශක අගයක්ද වාර්තා කරගෙන තිබෙන බජරංගී බායිජාන් චිත්‍රපටය කබීර් ඛාන්ගේ අධ්‍යක්ෂණයක්. සල්මාන් ඛාන් හැරුණු කොට ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පීන් වන කරීනා කපූර් සහ නවසුදීන් සිද්දික්ද චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබෙනවා. මෙම චිත්‍රපටය හරහා හරහා සිනමාවට අත්පොත් තබන ළමා නිළි හර්ෂලී මල්හෝත්‍රා චිත්‍රපටයට අමතර ආලෝකයක් එක් කර තිබෙනවා.

සල්මාන් ඛාන්ගෙන් මෑත කාලයේදී දකින්න නොළැඹුනු ආකාරයේ ප්‍රශස්ත මට්ටමේ රංගනයක් වගේම ඉතාමත් හොඳ චිත්‍රපටියක් විදියට බජරංගී බායිජාන් හඳුන්වන්නට පුලුවන්. ආදායම් වාර්තා සහ විචාරක පැසසුම් සළකා බැලුවාම චිත්‍රපටිය නරඹන්න ඉන්න කෙනෙකුට අමුතුවෙන් කතාව ගැන විස්තර කරන්න අවශ්‍ය නෑ. නමුත් කෙටියෙන් කතාවත් පොඩ්ඩක් කියන්නම්කෝ. ෂාහිදා කියන්නේ පාකිස්තානයේ පිටිසර ගම්මානයක ජීවත් වෙන අවු. 6ක විතර පුංචි ගෑණු ළමයෙක්. එයාට උපතින්ම කතා කිරීමේ හැකියාව නැහැ. නමුත් කන් ඇහෙනවා. ඇගේ දෙමවුපියෝ තීරණය කරනවා ඇයව ඉන්දියාවේ දිල්ලි නගරයේ තිබෙන පල්ලියක පූජාවක් සඳහා සහභාගී කරවන්න. ඔවුන් විශ්වාස කරනවා ඒකෙන් තමන්ගේ දියණියට කතා කිරීමේ හැකියාව ලැබෙයි කියලා. කෙසේ හෝ දිල්ලියට ගොස් නැවත පැමිණෙන අතරතුරේදී ශාහිදා මවගෙන් වෙන් වෙලා අතරමං වෙනවා. ඉන්දියා‍වේ දිල්ලි නගරයේ අතරමං වෙන ශාහිදාව හමු වෙන්නේ අපේ කතා නායකයා පවන්ට (සල්මාන් ඛාන්) ඔහු ඉතාමත් දැඩිව හනුමන්තා දෙවියන්ව අදහන නිසා ඔහුට බජරංගී බායිජාන් ලෙස අන්වර්ථ නාමයක්ද පට බැඳී තියෙනවා. ශාහිදාව හමුවීමෙන් පසුව පවන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කනපිට හැරෙනවා. ශාහිදාට කතා කරන්නටත් බැරි නිසා ඇයගේ දෙමවුපියන්ව සොයන්නට පවන්ට සෑහෙන වෙහෙසක් දරන්නට වෙනවා. ෂහිදා මුස්ලීම් නිසා පවන්ට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න තවත් බැරෑරුම් වෙනවා. අවසානයේදී ෂාහීදාව දෙමවුපියන් බාර දෙන්නට පවන් පාකිස්තානයට යනවා එතනින් පස්සේ තමා චිත්‍රපටියේ හොඳම හරිය. බඩ අල්ලගෙන හිනා වෙන්න පුලුවන් තැන් වගේම ඉතාමත් සංවේදී දෑස කඳුළින් තෙත් වන අවස්තාත් චිත්‍රපටය පුරාවටම තිබෙනවා.

ඉංග්‍රීසී උපසිරැසියේ ගීත උපසිරැසි ගන්වා තිබුණේ නැති නිසා සිංහල උපසිරැසිය තුළත් ගීත උපසිරැසි ගන්වලා නැහැ. DVD පිටපතක් නිකුත් වූ සැණින් ගීතත් සමගින්ම උපසිරැසිය යාවත්කාලීන කරන්නට පොරොන්දු වෙන ගමන් මෙය සියලුම සිනමා රසිකයින් අනිවාර්යෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක් ලෙසට නිර්දේශයකුත් කරමින්ම මම සමුගන්නවා. ඔබට සුභ දවසක්! සතුටින් ඉන්න!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..

No comments

Powered by Blogger.