Margarita with a Straw (2015) සිංහල උපසිරැසි සමග



ලයිලා නම් වූ ඇය සුන්දර තරුණියක්. නමුත් ඇයගේ ජීවිතයට සාපයක් ලෙසින් කඩා වැටුණු අංශභාග රෝගී තත්ත්වයකින් ඇය පෙළෙනවා. මුළු දිවියම රෝද පුටුවක් මත දිය කර හරින්නට සිදු වුනාත් ඇය ඉන් සැලෙන්නේ නැහැ. කායිකව වියපත් වුවාත් බුද්ධි මට්ටම අතින් ඉහළින්ම සිටින ඇයගේ මනස බොහෝම ක්‍රියාශීලීයි. ශරීර දුබලතාවය නිසා නොයෙක්විට අපහසුතාවයන්ට පත් වන ඇය‍ ඉන් මානසික පීඩාවන්ට පත් වන අවස්තාත් බොහෝමයි. යොවුන් වියේ හද තුළ උපදින ආදරය ඇයටද පොදු වූ කාරණාවක් වෙන නිසාම ඇයද ආදරය සොයා යනවා. නමුත් ඇයගේ කායික දුබලතාවයන් නිසා හැඩකාර තරුණයන්ගේ ආකර්ෂණය ඇයට ලැබෙන්නේ නැහැ. එම හේතුව නිසාවෙන් බොහෝ සේ මානසික කඩාවැටීමකට ලක්ව සිටින ඇයට අවසානයේදී ශිෂ්‍යයත්වයක් හිමි වීමෙන් පසු ඇමෙරිකානු විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරන්නට යනවා. ආදරය සොයා ගිය ගමනේ ඇයගේ ගමනාන්තය සනිටුහන් වෙන්නේ ඇමෙරිකාවේ නිවුයොර්ක් නගරයෙන්. ඇයගේ ජීවිතය එතනින් ඔබ්බට කිනම් මුහුණුවරක් ගනීද කියන වග අනපේක්ෂිතයි...

සොනාලි බෝස් සමගින් නිලේෂ් මනියාර් එකව අධ්‍යක්ෂණය කළ Margarita, with a Straw චිත්‍රපටයටයි ඉහතින් පෙරවදනක් සැපවූයේ. අප්‍රේල් මස 11 වන දින තිරගත කිරීම ඇරඹි චිත්‍රපටයේ IMDB අගය 7.4/10ක් ලෙසිනුයි සනිටුහන් වෙන්නේ. අංශභාගය වැළඳුණු තරුණියක් ලෙසින් කල්කි කෝචින් ඉදිරිපත් කර ඇති රංගනය සම්මානයට පාත්‍ර විය යුතු තරම් විශිෂ්ඨ මට්ටමක තිබෙනවා. ඒ වගේමයි ලයිලාගේ මව ලෙසින් රේවතී සිදු කරන්නා වූ රංගනය සහ කානුම් නම් වූ අන්ධ තරුණියක් ලෙසින් සයනි ගුප්තා සිදු කරන්නා වූ රංගනයන් ද්විත්වය. මේ චරිත ත්‍රිත්වය අතර වරින් වර දෝලනය වෙමිනුයි චිත්‍රපටයේ සමස්ත කතාව ගලාගෙන යන්නේ. මහමෙරක් තරම් වූ මවු සෙනෙහස සංවේදී ලෙසින් අර්ථ නිරූපණය කරන්නටත් යොවුන් වියේ පොපියන ආදරයට විවාදාත්මක අර්ථ කතනයක් ලබා දෙන්නටත් චිත්‍රපටයෙන් නිර්මාණකරුවා සමත් වී තිබෙනවා.වර්තමානයේ ලෝකයේම අවධානයට බඳුන් වී ඇති කාරණයක් වන සමලිංගිකත්වය ගැන වෙනස්ම කෝණයකින් දකින මෙම සිනමා නිර්මාණය උසස් සිනමා රසාස්වාදයක් බලාපොරොත්තුවන අයට හොඳින්ම ගැලපේවි යැයි සිතනවා. ඒ වගේම මතක් කරන්නට කැමතියි මෙම චිත්‍රපටය සුදුසු වන්නේ අවුරුදු 16 ඉක්මවූවන් සඳහාම පමණක් වන බව.

එහෙනම් තවත් චිත්‍රපටයක් සමගින් හමුවන බලාපොරොත්තුව ඇතිව මම සමුගන්නවා. ඔබට සුභ දවසක්... සතුටින් ඉන්න!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.