BABY (2015) සිංහල උපසිරැසි සමඟ.



A Wednesday(2008) සහ special 26 (2013) කියන්නේ බොලිවුඩ් සිනමා රසිකයන් අතරේ බොහෝ සෙයින් ජනප්‍රිය වෙච්ච චිත්‍රපට ද්විත්වයක්. එම චිත්‍රපටි දෙක පිළිවෙලින් 8.5/10 ක් සහ 7.9/10ක් විදියට IMDB අගය සටහන් කරගෙන තිබෙනවා. ත්‍රාසය,කුතුහලය නොවඩුව රැඳිලා තිබුණු එම චිත්‍රපට ද්විත්වයේ නිර්මාපකයා තමයි නීරජ් පාණ්ඩේ. ඔහුගේ අධ්‍යක්ෂණය යටතේ නිර්මාණය වූ නවතම චිත්‍රපටිය තමයි Baby (2015). පෙර චිත්‍රපට ද්විත්වයේදී ‍වගේම මේ චිත්‍රපටියේදීත් ඔහු ඔහුගේ සාර්ථකත්වය එලෙසින්ම රඳවා ගන්නට සමත්කම් දක්වලා තිබෙනවා. ජනවාරි 23වන දින තිරගත කිරීම අරඹපු Baby චිත්‍රපටය ‍ලොව පුරා තිරගත කිරීමෙන් ලද සමස්ථ ආදායම කෝටි 125ක් විදියටයි සඳහන් වෙන්නේ. ඒ වගේම 8.6/10ක ඉහළ IMDB දර්ශක අගයක් රඳවා ගන්නට තරම් ප්‍රේක්ෂක ඇගයීමට ලක්වෙලා තිබෙනවා. නීරජ් පාණ්ඩේගේ පෙර චිත්‍රපට ද්විත්වයේදී වගේම මෙවරත් ආරම්භයේ පටන් අවසානය දක්වාම කුතුහලයෙන් යුතුව නරඹන්නට පුලුවන් හොඳ ගලා යාමක් සහිත කතාවක් නරඹන්නට ඔබට හැකි වේවි.

සුපිරි ක්‍රියාදාම නළු ආක්ෂේ කුමාර් ප්‍රධාන රංගන කාර්යයෙන් දායක වන අතරේ අනුපම් කේර් සහ කේ.කේ මෙනන් කියන ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පීන් දෙදෙනාත් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. Chashme Baddoor, Arrambam වගේ චිත්‍රපටි වලින් අපි දුටුව සුරූපී නිළි තප්සී පන්නූත් මේ චිත්‍රපටයට එක් වෙලා තියෙනවා.

2008 වර්ෂයේ ඉන්දියාවේ මුම්බායි නගරයට එල්ල වුණු දැවැන්ත ත්‍රස්තවාදී ප්‍රහාරයට පසුව('26/11 ප්‍රහාරය' නමින් හැඳින්වෙන්නේ එම ප්‍රහාරයයි) ත්‍රස්තවාදී කණ්ඩායම් ගැන ඉන්දියාව කරනු ලැබූ ත්‍රස්ත විමර්ශණ මෙහෙයුම් වඩාත් දැඩි කළා. ඉන්දියාවට එල්ල විය හැකිව තිබූ තවත් එවැනි ත්‍රස්ත ප්‍රහාරයන් ගණනාවක් වලක්වාගන්නට එම මෙහෙයුම් නිසාවෙන් ඉන්දියාවට පුලුවන් කම ලැබුණා. එවැනි ත්‍රස්ත විමර්ෂණ මෙහෙයුම් සඳහා විශේෂයෙන් පිහිටුවනු ලැබූ මෙහෙයුම් ඒකකයක් වටා ගෙතුණු වූ සිනමා සිත්තමක් විදියටයි Baby චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ.

ඉන්දියානු පොලීසිය හා හමුදාව අතරින් තොරා ගත් 12 දෙනෙකුගෙන‍් සැදුම් ලත් විශේෂ ත්‍රස්ත විමර්ෂණ ඒකකය Baby නමින් නම් කෙරෙනවා.ඔවුන් එම මෙහෙයුම් කටයුතු සඳහා විශේෂඥ පුහුණුව ලැබූ පිරිසක්. අවුරුදු 5ක කාලයක් සඳහා පිහිටුවනු ලැබූ මෙම ඒකකය ත්‍රස්තවාදී ප්‍රහාර ගණනාවක් ගැන කල් තියා හඳුනාගෙන එම ප්‍රහාරයන් වලක්වන්නට සමත් වෙනවා. අදාල අවුරුදු 5ක කාලයෙන් අවුරුදු 4ක් ගෙවෙද්දි සාමාජිකයන් 8 දෙනෙකුම මෙහෙයුම් වලදි ජීවිත පූජා කරනවා. මෙහෙයුම් ප්‍රධානියා සමගින් Baby නම් වූ මෙම විශේෂ ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ ඉතිරි සාමාජිකයන් 4 දෙනා සිදු කරනු ලබන අවසාන මෙහෙයුම ගැනයි මේ කතාව. ඔබේ කුතුහලය නැති කරන්නට අකමැති නිසාවෙන් කතාව ගැන වැඩි යමක් කියන්නෙ නැහැ. මෙම විශේෂ ඒකකය විසිර යාමට මත්තෙන් ඔවුන් සිදු කරනු ලබන මෙම දැවැන්ත මෙහෙයුම හා එක්වන්නට ඔබටත් ආරාධනා කරන ගමන් මම සමුගන්නවා තවත් චිත්‍රපටයක උපසිරැසි සමගින් හමු වන බලාපොරොත්තුව ඇතිව. ඔබට සුභ දවසක්, සතුටින් ඉන්න!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.