ආදරය විවිධ ප්‍රමාණ වලින් Dum Laga Ke Haisha (2015) සිංහල උපසිරැසි සමඟ




ඔබ ආදරය කරද්දි පෙම්වතාගෙන් හෝ පෙම්වතියගෙන් බලාපොරොත්තු වන ප්‍රධානතම කාරණා‍වන් මොනවාදැයි කෙනෙකු ඔබෙන් ප්‍රශ්න ක‍ළහොත් ඔබ ලබා දෙන පිළිතුරු අතරේ ආදරය, අවංකකම, හැදියාව, බුද්ධිමත්කම වගේ කාරණාවන් අනිවාර්යෙන්ම ඇතුළත් වෙනවා. නමුත් ඔබ විශේෂයෙන් සඳහන් කළත් නොකළාත් බාහිර පෙනුම කියන දේ ගැනත් අඩු වැඩි වශයෙන් සළකා බැ‍ලෙනවා. හැමෝම කැමතියි තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය නැතිනම් සැමියා හෝ බිරිඳ හැඩට ඉන්නවා නම්. මේ මගේ පෙම්වතා/පෙම්වතිය කියලා අන් අය ඉදිරියේ ආඩම්බරයකින් යුතුව හඳුන්වා දෙන්න හැමෝම ප්‍රිය කරනවා. මේ කාරණය ‍වැඩි වශයෙන්ම අදාල වෙන්නේ තරුණයන්ට. තමන්ගේ පෙම්වතිය සිහින් සිරුරකින් හෙබි බොහෝම ප්‍රිය මනාප කෙනෙක් නම් මතු පිටින් නොපෙන්නුවා වුනත් ඔහු යටි සිතින් ඒ ගැන සතුටු‍ වෙනවා. තමන්ගේ යහළු යෙහෙළියන්ට ඇයව හඳුන්වා දීමෙන් අහිංසක ආඩම්බරයක් ලබනවා.

කෙනෙකු ඒ ඇත්දැකීම ඉතාම සුන්දරව විඳගන්නා අතරේ තවත් කෙනෙකුට එය කටුක අත්දැකීමක් වන්නටත් පුලුවන්. තමන්ගේ පෙම්වතිය පැහැපත් කෙනෙකු නොවෙයි නම්, එසේත් නොමැති නම් ඇය තරබාරු කෙනෙකු නම් තමන්ගේ යහළු හෙයෙළියන් අතරේ තමන් අපහසුතාවයට පත් වනවා වැනි හැඟීමක් ඇති වෙන්නට පුලුවන්. මිතුරන්ගේ සුන්දර සිහින් සිරුරක් හිමි පෙම්වතියන් තමන්ගේ තරබාරු පෙම්වතිය සමගින් සංසන්දනය කරන්නට යෑමෙන් මානසික පීඩාවන්ට පවා ලක්වන්නට පුලුවන්. අවසානයේ පෙම්වතිය හැර යන තත්ත්වයට කාරණය බරපතල වන්නටත් පුලුවන්.

Dum Laga Ke Haisha චිත්‍රපටයටත් පාදක වෙලා තිබෙන්නේ එවැනි කතාවක්. ප්‍රේම් (Ayushmann Khurrana) කියන්නේ රෙකෝඩ් බාර් එකක් කරගෙන යන තරුණයෙක්. ඔහු හොඳ අධ්‍යාපනයක් ලබපු කෙනෙක් නෙවෙයි. ඔහුගේ දෙමවුපියන්ගේ බල කිරීම නිසාවෙන්ම ඔහුට සිදු වෙනවා සන්ද්‍යා කියන තරුණිය සමගින් විවාහ වෙන්න. තරුණිය තරබාරු කෙනෙකු නිසාවෙන් ඔහු එම විවාහය ගැන අඹ මල් රේණුවක් තරම්වත් කැමැත්තක් දක්වන්නේ නැහැ. සන්ද්‍යාගේ භාගිර ස්වරූපය ගැන තෘප්තිමත් නොමැති නිසාවෙන් ප්‍රේම් හා සන්ද්‍යා අතරේ නොයෙක් විට ගැටුම් ඇති වෙනවා. එම ගැටුම් විටෙක විනෝදාතමකවත් විටෙක බරපතල ලෙසිනුත් දකින්නට පුලුවන්.

සන්ද්‍යා සමගින් අඹුසැමි සම්බන්දතා පවත්වන්නටවත්, සන්ද්‍යාව තමන්ගේ බිරිඳ ලෙසින් සමාජය ඉදිරියේ හඳුන්වා දෙන්නටවත් ප්‍රේම් කැමැත්තක් දක්වන්නේ නැහැ. දෙදෙනා අතර භාහිර ‍පෙනුමින් ඇති නොගැලපීම හැරුණුකොට බුද්ධි පරතරයත් මේ ගැටුම් උග්‍ර වෙන්නට තවත් හේතුවක් වෙනවා. සන්ද්‍යා උපාධිදාරී බුද්ධිමත් තරුණියක් නිසා ප්‍රේම් හමුවේ දෙවැනි තැනට වැටෙන්නට ඇය කැමති වන්නේත් නැහැ. මේ අඹු සැමි අරගලය උච්චතම අවස්තාවට පැමිණීමෙන් පසුව ගොඩාක් දේවල් සිද්ද වෙනවා. චිත්‍රපටිය අවසාන භාගය වෙද්දී අමුතු ක්‍රීඩා ඉසවුවකුත් දැක ගන්න පුලුවන් එම ක්‍රීඩා ඉසවුව ප්‍රේම් - සන්ද්‍යා අමුතු ආදර කතාව හා කොහොම සම්බන්ද වෙයිද කියන කාරණයත් මේ ආදර කතාවේ අවසානය කෙබඳු වේවිද කියණ කාරණයත් දැන ගන්න නම් චිත්‍රපටය නරඹන්නම වෙනවා.

Sharat Katariyaගේ අධ්‍යක්ෂණයක් ලෙසින් නිර්මාණය වී තිබෙන Dum Laga Ke Haisha චිත්‍රපටය 2015 පෙබරවාරි 27 වන දින තිරගතවීම ආරම්භ කළා. IMDB දර්ශක අගය 7.8/10 ක් ලෙසිනුයි දැක්වෙන්නේ. Ayushmann Khurrana, Sanjay Mishra සහ නවක නිළි Bhumi Pednekar ඇතුළුව තවත් නළු නිළියන් බොහෝ ප්‍රමාණයක් රංගනයෙන් දායක වෙන මේ සිනමා නිර්මාණය බොලිවුඩ් රසිකයන් මග නොහැර නැරඹිය යුතු චිත්‍රපටයක් ‍විදියට නිර්දේශ කරන්නටත් කැමතියි. තවත් නමා නිර්මාණයක් සමගින් හමුවන බලාපොරොත්තු ඇතිව මම සමුගන්නවා. ඔබට සුභ දවසක්! සතුටින් ඉන්න!


love comes in all sizes!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන BRRIP හෝ DVDRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.