ඉන්දීය ශර්ලොක් හෝම්ස් Detective Byomkesh Bakshy (2015) සිංහල උපසිරැසි සමඟ,



වෙනස්ම ආරක සිනමාත්මක කියවීමක් සහිත සිනමාවේදියෙකු ලෙසිනුයි දිබාකර් බැනර්ජි නම් අධ්‍යක්ෂකවරයාව හැදින්විය හැක්කේ. ඔහුගේ ඒ වෙනස LSD: Love, Sex Aur Dhokha (2010) සහ Shanghai (2012) යන චිත්‍රපට ද්විත්වයෙන් අත්විඳින්නට හැකි වුනා. එමෙන්ම Bombay Talkies චිත්‍රපටයට ඔහු නිර්මාණය කළ star නම් කෙටි චිත්‍රපටයත් ඉතාමත් හොඳ සිනමා නිර්මාණයක් වුනා. ඔහුගේ නවතම සිනමා නිර්මාණය Detective Byomkesh Bakshy! කෝටි 35ක විදමකින් නිම වූ මෙම චිත්‍රපටයේ සම්පූර්ණ ආදායම කෝටි 64ක් පමණ වනවා. 8.1/10ක ඉහළ IMDB අගයක් සටහන් කරගන්නට සමත් වී තිබෙන මෙම චිත්‍රපටය දිබාකර් බැනර්ජිගේ සහ යාෂ් රාජ් චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයක් ලෙසිනුයි ප්‍රේක්ෂකයන් වෙත පිරිනැමෙන්නේ. අප්‍රේල් මස 03 වන දින තිරගත වීම ආරම්භ කළ චිත්‍රපටයට සිනමාකරණයෙන් දායක වී තිබෙන්නේ Nikos Andritsakis. Kai po che (2013) චිත්‍රපටයෙන් සිනමා ආගමනය සනිටුහන් කර ගත් දක්ෂ රංගන ශිල්පියෙකු වන සුෂාන්ත් සින්ග් රාජ්පුත් මේ චිත්‍රපටයට ප්‍රධාන රංගන කාර්යෙන් දායක වනු ලබනවා.

එකදු හෝ ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතාවක්වත් නොකියපු කෙනෙකු මේ ලිපිය කියවන අය අතර සිටීදැයි සැක සහිතයි. එතරම්ම එම කතා පාඨකයන් අතර ජනප්‍රියයි. ෂර්ලොක් හෝම්ස් යනු පාඨක සිත් වසඟයට ගත් ඉතාමත් අපූරු රහස් පරීක්ෂක කතා මළාවක්. ෂර්ලොක් හෝම්ස් නම් චරිතය පාඨක සිත් තුළ ජීවමාන කරන්නට වෙහෙසුණු ලේඛකයා වුනේ බ්‍රිතාන්‍ය ජාතික ආතර් කොනන් ඩොයිල්. ආතර් කොනන් ඩොයිල් ෂර්ලොක් හෝම්ස් චරිතය එලෙසින් පාඨකයන් අතරට ගෙන යද්දී ඉන්දියානු ජාතික ලේඛකයෙකු වුනු Sharadindu Bandyopadhyay ඉන්දියානු මුහුණුවරකින් යුතු රහස් පරීක්ෂක කතා මාලාවක් නිර්මාණය කළා. ඒ Byomkesh Bakshi යන නමින්. ඔහු බ්යෝම්කේෂ් බක්ෂි රහස් පරීක්ෂක කතා මාලාවේ පළමු කතාව 1932 වර්ෂයේදී රචනා කළා Satyanweshi යන නමින්. එතැන් පටන් 1970 වර්ෂය දක්වා ඔහු බ්යෝම්කේෂ් බක්ෂි රහස් පරීක්ෂක කතා 32ක් රචනා කර තිබෙනවා. 33වන කතාව රචනා කරමින් සිටින අතරතුරදියි ඔහු මිය ගොස් තිබෙන්නේ. මුල් කාලීනව රචනා වූ කතාවන් සඳහා ෂර්ලොක් හෝම්ස් කතා මාළාවේ යම් යම් කොටස් වැඩි වශයෙන් පාදක කර ගනු ලැබුවාත් පසු කාලීනව ඔහුගේ ස්වතන්ත්‍ර නිර්මාණ තුළින් බ්යෝම්කේෂ් බක්ෂි රහස් පරීක්ෂක කතා මාලාව ගොඩ නගන්නට ඔහු සමත් වී තිබෙනවා.

Sharadindu Bandyopadhyay විසින් රචිත බ්යෝම්කේෂ් බක්ෂි රහස් පරීක්ෂක කතාවන් අලලා චිත්‍රපට සහ රූපවාහීනී කතා මාලාවන් ගණනාවක් නිර්මාණය වී තිබෙනවා. ඉන් එක් නිර්මාණයක් තමයි Detective Byomkesh Bakshy! නම් වූ මෙම සිනමා නිර්මාණය. දිබාකර් බැනර්ජිගේ සුවිශේෂී වූ අධ්‍යක්ෂණ කුසලතාවය සමගින් සුෂාන්ත් සින්ග් රාජ්පුත්ගේ ප්‍රතිභාපූර්ණ රංගන වින්‍යාසය මුසුව නිර්මාණය වූ මෙම සිනමා පටය රහස් පරීක්ෂක කතා ප්‍රිය කරන ඔබ සැමටම අපූර්වතම වූ සිනමා අත්දැකීමක් වේවි.

රහස් පරීක්ෂක කතාවක් නිසාවෙන් චිත්‍රපටය ගැන ලොකු හැඳින්වීමක් කරන්නට ගියහොත් චිත්‍රපටය රසවිඳින්නට එය බාදාවක් වේවි. එම නිසාවෙන් පොඩි හැඳින්වීමක් කරන්නම්. අජිත් බැනර්ජි තමාගේ පියා මාස 2ක් තිස්සේ ආගිය අතක් නොමැති නිසාවෙන් පියාව සොයා ගන්නට බ්යෝම්කේෂ් බක්ෂිගේ සහාය පතනවා. මුලදි බ්යෝම්කේෂ් ඊට උනන්දුවක් නොදැක්වුවා වුනත් යම් හේතුවක් නිසා පසුව ඔහු ඒ කාර්යය බාර ගන්නවා. අජිත් බැනර්ජිගේ පියා වන බුවන් බැනර්ජි අතුරුදහන් වීමට කලින් නවාතැන් ගෙන සිටි නවාතැන්පොළේ නවාතැන් ගන්නා බ්යෝම්කේෂ් එහි හිඳිමින් ඔහුගේ පරීක්ෂණ කරගෙන යනවා. මෙම අතුරුදහන් වීම පිටුපස භයානක සැළසුමක් තිබිය හැකි බව ඔහුට තේරුම් ගියත් එම සැළසුම කුමක්ද යන වගවත්, එය කොහි සිට කවුරුන් ක්‍රියාත්මක කරනවාදැයි කියාවත් ඔහුට හෙළි කරගැනීමට පහසු වෙන්නේ නැහැ. බුවන් බැනර්ජිව සොයා යන ගමනේ ඔවු බලාපොරොත්තු නොවූ අභියෝග රාශියකට මුහුණ දෙනවා. බුවන් බැනර්ජිගේ අතුරුදහන් වීමට හේතුව, එම අතුරුදහන් වීම පිටු පස ඇති භයානක සැළැස්ම, මේ සියල්ල පිටුපස ඇති අද්‍රෘෂ්‍යමාන හස්තය කුමක්ද යන වගත් රහස් පරීක්ෂකයෙක් සතු විය යුතු තීක්ෂණ බුද්ධිය සහ උපක්‍රමශීලීත්වය භාවිතයට ගනිමින් සියලු අභියෝගයන්ට බ්යෝම්කේෂ් මුහුණ දෙන අයුරුත් චිත්‍රපටය නරඹන ඔබට දැක ගන්නට පුලුවන් වේවි. චිත්‍රපටිය ගැන ඊට වඩා වැඩි යමක් කියන්නේ නැහැ. එසේ නම් තවත් චිත්‍රපටයකින් හමුවන බලාපොරොත්තු ඇතිව මම සමුගන්නවා. ඔබට සුභ දවසක්! සතුටින් ඉන්න!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.