Fantastic Four (2015) සිංහල උපසිරැසි සමගින්



මම හිතන්නෙ මේ කතාව කිසිම කෙනෙක් තේරුම් අරගෙන නැතුවයි බනින්නෙ. IMDb එකේ බැනලා තියෙන විදිහ බැලුවාම මම හිතුවෙ අජූත ගන්නම දෙයක් නැති ෆිලුමක් වෙලා කියලා. ඒත් සබ කරන්න ඕන නිසා ගත්තා. යකෝ බැලින්නම් සුපිරියක්. දීලා තියෙන ඉෆෙක්ට් එහෙම සුපිරි. හැබැයි චූටි ගැටලුවකට තිබෙන්නෙ මේකට කලින් ආපු ෆැන්ටෑස්ටික් 4 එකේ වගේ ඇඩ්වේන්චර් කෑලි ඒ කියන්නෙ ආපදාවක් වුනාම හතරදෙනාම බේරගන්න යනවා වගේ, කවුරු හරි හතුරෙක් ඇවිත් චිත්‍රපටයේ බොහෝ තැන් වල ගහගන්න සීන් ටිකක් අඩුයි. මම හිතන්නෙ ඒක අධ්‍යක්ෂකට බැනලා වැඩක් නැහැ. හැබැයි කොමික් කතාවල ඉන්න ප්‍රේක්ෂකයන්ට යම් අසාධාරනයක් වෙලා තියෙනවා කියලත් කියන්න ඕන. ඒ චිත්‍රපටයේ තාක්ෂණය නිසා නෙවෙයි. සාමාන්‍යයෙන් කොමික් චිත්‍රපට වල පැය දෙකක් ගත්තොත් පැයක් විතර වලිමනෙ යන්නෙ. එක්කො තෝර් ගහයි හල්ක්ට, නැත්නම් තෝර්ගෙ මල්ලියි තෝර්නුයි වලියක් දාගනියි, එහෙමත් නැත්නම් අයන් මෑනුයි කැප්ටන් අමෙරිකායි වලියක් දාගනියි. ඊට පස්සෙ හතුරත් එක්කත් මරාගන්නවා. ඉතින් චිත්‍රපටයෙ බාගෙට බාගයක් වලි. ඉතින් ඒකනේ ඒවට ඇක්ෂන්/ඇඩ්වේන්චර් කියන්නෙ. ඒත් මේ චිත්‍රපටයේ අන්තිම බාගයේ තමයි ඩිරෙක්ටර් මාමිටත් රත්වෙන්නෙ පොඩ ඇක්ෂන් කෑල්ලක් දාන්න ඕන කියලා. ඒක නිසා විනාඩි දහයක් විතර චිත්‍රපටයෙ වලි දාගන්න තැන් තියෙනවා.

අනෙක් කතාව තමයි ගොඩක් වෙබ් අඩවි වල මෙම චිත්‍රපටය අසාර්ථක වුන හේතුව වශයෙන් සඳහන් කරලා තියෙන්නෙ, ඔයාලට මතකයි ෆැන්ටෑස්ටික් 4 කියලා 2005 හා 2007 චිත්‍රපට දෙකක් ආවා. හැබැයි ඒ වෙනකොට Avengers චිත්‍රපට මාලාව ඇවිත් තිබුනෙ නැහැ. ඉතින් ඒ දවස් වල නම් ඇවේන්ජර්ස් වෙනුවට අපිට සුපිරි වීරයන් රැසක් ඉන්න චිත්‍රපටයකට තිබුනෙ මේක නිසා හැමෝම අතරෙ කතාබහට ලක්වුනා. හැමෝම බැලුවා. හැබැයි ඇවේන්ජර්ස් ආවට පස්සෙ ඒකත් එක්ක මේක සසඳනකොට තරඟ කරන්න අමාරුයි. ඒ නිසාමදෝ චිත්‍රපටයෙ අධ්‍යක්ෂක එනම් ක්‍රෝනිකල් චිත්‍රපටයේ අධ්‍යක්ෂක මෙම චිත්‍රපටය වෙනස් ධාරාවක් කරා ගෙනියන්න හදලා තියෙනවා. අනෙක බොහෝ චිත්‍රපට වල තිබෙන සාමාන්‍යයෙන් අපිට දැකලා පුරුදු කෑලි මේකෙත් හොඳට බලාගන්න පුළුවන්. රීඩ්ස් තමයි මේ කතාවෙ ප්‍රධාන නළුවා. ඔහු පාසැල් යන පොඩි කාලෙ ඉඳන්ම යම් දෙයක් තැනකින් තවත් තැනකට යවන්න පුළුවන් ටෙලිපෝටඩ් තාක්ෂණ ක්‍රමය අත්හදා බලනවා. මේක එයා පන්ති කාමරය තුල කියනවා. ඒකට පන්තියේ ලමයි හිනාවෙනවා. හැබැයි එක ලමයෙක්ට විතරක් මෙයා ගැන කුතුහලයක් ඇතිවෙනවා. ඉතින් ඒ වගේ සාමාන්‍යයෙන් බොහෝ චිත්‍රපට වල අපි දැකලා තියෙන. කිසිම අමුත්තක් නැති කොටස් මේ චිත්‍රපටයේ බොහෝ තැන් වල දකින්න පුළුවන්. හැබැයි මට නම් ඒක වැඩිය තේරුනේ නැහැ පරණ චිත්‍රපටයක් අලුත් කරපු නිසාද දන්නෙ නැහැ.

හැබැයි මේක එහෙම කියලා අතහරින්න ඕන එකක් නෙමෙයි. කොමික් කතා බලපු අය මේකට කැමති නැහැ කිව්වට ඔයාලා මේක බලලා තීරණය කරන්න 60% ක් විතර හොඳ රසයක් දෙන චිත්‍රපටයක්. ඇක්ෂන් නැතිවුනාට තාක්ෂනය ඒ කිව්වෙ විශේෂ ප්‍රයෝග නම් චිත්‍රපටය පුරාවට පරිගණක ආශ්‍රයෙන් යොදලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මෙච්චර ලොකු කතාවක් මම කිව්වෙ IMDb එකේ කොමික් බලන එවුන් බැනලා දාලා තියෙන නිසා. රේටින් පවා දීලා නැහැ. ඒත් මේක අරගෙන බලන්න ඇක්ෂන්/ ඇඩ්වේන්චර් තරමක් නැතිවුනාට හොඳ ස්ටෝරි ලයින් එකක් නම් තියෙනවා.

කතාවෙ සන්ධර්භය ගැන තරමක් කිව්වොත් කතාවෙ ආරම්භය වෙන්නෙ රීඩ් කියන කුඩා ලමයෙකු සමඟයි. ඔහු පාසැල් කාලෙ ඉඳන්ම විද්‍යාවට දක්ෂයෙකු ලෙසයි පෙන්වන්නෙ. අනෙක් දරුවන්ට වඩා දක්ෂ විවිධ විද්‍යාත්මක අත්හදා බැලිම් කරන කුඩා දරුවෙක්. ඔහුට තවත් මිතුරෙක බලාපොරොත්තු නොවන ආකාරයෙන් මුනගැසෙනවා. රීඩ් දරුවා තම අත්හදාබැලීම මිතුරාත් සිටියදී ප්‍රායෝගිකව අත්හදා බලනවා. ඉන්පසු රීඩ් වැඩිහිටියෙක් වෙලා ටෙලිපෝඩට් ක්‍රමය සාර්ථකව නිර්මාණය කල පසු අපේක්ෂා නොකල අන්දමින් ඔහුට යම් ආරාධනයක් ලැබෙනවා. ඒ එක්තරා කණ්ඩායමකින්. ඔවුන් යම් දෙයක් තවත් තැනකින් මතුකරන ටෙලිපෝටඩ් ක්‍රමය සම්බන්ධව පරීක්ෂණ කරන පිරිසක්. ඉතින් මේ අය රීඩ් සමඟ තම පරීක්ෂණ අවසන් වී නව නිර්මාණය සාර්ථකව නිම කරනවා. සත්වයෙක් පෘථිවියේ සිට වෙනත් ග්‍රහයෙකු මතට යවනවා. එය සිදුවන්නෙ තප්පර කිහිපයක් ඇතුලත. එම නව තාක්ෂණය නාසා වැනි ආයතන සමඟ එකට කල යුතුයි යන තැනට එක්තරා නියෝජිතයෙකුගෙන් එන යෝජනාව මත එම විද්‍යාඥයන් උරණ වෙනවා. එම නිසාම ඔවුන් කතාවෙලා තීරණය කරනවා වෙනත් ග්‍රහයක් මතට ගිය පළමු මිනිස් කණ්ඩායම බවට පත්වන්න. ඉතින් ඔවුන් හොර රහසේම ටෙලිපෝටඩ් ක්‍රමය මගින් වෙනත් ග්‍රහලෝකයකට යනවා. මෙතැනින් තමයි අපි බලාපොරොත්තු වෙන අපූරු හතර දෙනා නිර්මාණය වෙන්නෙ. එහෙනම් බලන්නකෝ කතාව.

Whiplash (2014), Divergent (2014), Insurgent (2015) වගේ චිත්‍රපට වල රඟපෑ නළු Miles Teller මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පන පොවනවා. එමෙන්ම Iron Man 2, Transcendence, 127 Hours (2010) වැනි චිත්‍රපට වල රඟපෑ සුරූපී නිළියද මෙම චිත්‍රපටයට සාධාරණයක් කලා කියලා තමයි මට කියන්න පුළුවන් වෙන්නෙ. බෙදා හැරීම ගැන කියන්න දෙයක් නෑනෙ Fox මාමිලා තමයි බෙදා හැරීම කරලා තියෙන්නෙ. Marvel ස්ටුඩියෝ එකෙන් තමයි චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නෙ. ආදායම් හා වියදම් අතින් කියන්න තියෙන්නෙ ශෝක ජනක කතාවක් චිත්‍රපටය නිෂ්පාදනයට අමෙරිකානු ඩොලර් 120,000,000 ක් විතර ගිහින් තිබෙනවා ඒත් ආදායම ගැන කිවවොත් දැනට ලෝකෙන්ම එකතුවුන ගාන ලෙස ඩොලර් 101,079,049 මුදලක් පමණයි ලැබී තිබෙන්නෙ. කොමික් චිත්‍රපට නරඹන්නන් වැඩියෙන්ම සිටින අමෙරිකාව තුල මෙම චිත්‍රපටය අලෙවි වි තිබෙන්නෙ 54,887,263 වැනි සුළු මුදකටයි. චිත්‍රපටයේ අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කලේ Chronicle (2012) චිත්‍රපටය අධ්‍යක්ෂණය කල Josh Trank විසිනුයි. වැදගත්ම දේ තමයි මෙච්චර අලාභ වෙලත් නිවේදනයක් නිකුත්වී තිබෙනවා මෙහි දෙවන චිත්‍රපටයක් 2017 දී නිකුත් වන බව. එහෙත් චිත්‍රපට නළු නිළියන් නම් කලත් කුමන අධ්‍යක්ෂක වරයෙකුගෙ අතින් චිත්‍රපටය නිපද වෙනවාද යන්න තවමත් ප්‍රකාශයට පත්වී නැහැ



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් හා J.A.R එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.