Poltergeist (2015) සිංහල උපසිරැසි සමගින්



කාලෙකින් හොල්මන් චිත්‍රපටයක් දෙන්නෙ. චිත්‍රපටයේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම (Poltergeist) හොල්මන් චිත්‍රපටයක් ගැන තමයි මේ කතාව යන්නෙ. මේ චිත්‍රපටය අද ඊයෙ ආපු එකක් නෙමෙයි 1982 සිට සීරීස් එකක් විදිහට ආපු එකක්. එක චිත්‍රපටයක් 1982 අනෙක් චිත්‍රපටය 1986 හා අන්තිම චිත්‍රපටය 1988 වර්ෂයෙත් චිත්‍රපට තුනක් වශයෙන් පැමිණියා. ඒ කියන්නෙ චිත්‍රපට තුනක් දක්වා එන්නත් යම් ෆෑන් බේස් එකක් තිබිලා තියෙනවා චිත්‍රපටයට. සාමාන්‍යෙයන් හොරර් චිත්‍රපට මිනිස්සු බලනවා අඩුයි නේ. ඒ මොකටවත් නෙමෙයි බය වෙන නිසා. අපේ සබ් ටීම් එකෙත් ඉන්නවා එහෙම හොල්මන් චිත්‍රපට බලන්න බය ගුල්ලො. වෙලාවට ප්‍රමෝද් බය නැතිවුනේ. නැත්නම් ෆිලුම තනියම තමයි කරන්න වෙන්නෙ හික්ස්. ඒත් මේ චිත්‍රපටය බය වෙවී හරි බලන්න මොකක් හරි විශේෂත්වයක් තියෙනවා. ඉතින් ඒ සීරීස් එක අපේ තාත්තලාගෙ කාලෙනෙ අවේ. ඉතින් අපේ කාලෙට ගැලපෙන්න ඒ චිත්‍රපටයේ රී මේක් එකක් හදලා තියෙනවා. ඉතින් පරණ චිත්‍රපටයේ නමින්ම මෙදාපාරත් කතාව අලුත් කරලා ගහලා තියෙනවා. ඇත්තටම කිව්වොත් බය වෙන්න පුළුවන් විදිහට තමයි කතාව හදලා තියෙන්නෙ. ගොඩක් අය හොල්මන් චිත්‍රපට වලට අකමැති වෙද්දි මම ගොඩක් කැමති හොල්මන් චිත්‍රපට වලට. එහෙම වෙලාවක මට හිතෙනවා මමත් හොල්මනක්ද කියලා. ඉතින් මේකත් මායි ප්‍රමෝද් යාලුවයි සබ් එක කරන්න ගත්තෙ ඒ නිසා.

ඔයා නිකමට හිතන්න ඔයා කුලියට ගෙවල් අරගෙන ඉන්න පවුලක් කියලා. ඇත්තටම එහෙම ඉන්න අය නම් වඩාත් හොඳයි. ඔන්න මේ කතාව හදලා තියෙන්නෙ එයාලාට විශේෂ වෙන්නයි. අපි කුලියට ගන්න නිවස අති භයානක අස්වාභාවික දේවල් වෙන තැනක් නම් එතන අපිට මොන වගේ වේවිද?. අපිට වෙන ගෙයක් ගන්න සල්ලිත් නැත්නම්. පවුල අමාරුවෙන් ගෙනියන පිරිසක් නම් ඒ තත්වය තවත් භයානක අතට හැරේවිනේ. මම වුනත් කොච්චර හොල්මන් චිත්‍රපට බැලුවත් හොල්මන් විශ්වාස කරන්නෙ නම් නැහැ. ඒක නිසා කවුරු හොල්මන් තියෙනවා කිව්වත් ඒ ගෙදර නැති බැරි කම නිසාම ඉන්න අය අනන්තයි. හැබැයි මම හොල්මන් විශ්වාස කරන්නෙ නැ කිව්වට අපේ ගෙදර අයට ප්‍රායෝගික අත්දැකීම් නම් තියෙනවා. ඒකෙන් එක කතාවක් කියන්නම් කම්මැලි කම යන්නත් එක්ක

අපේ තාත්තගෙ නෑයො පිරිසක් ඉන්නවා මොණරාගල පැත්තෙ. ඉතින් අපේ තාත්තලාගෙ මිතුරන් පිරිසක් ඉන්නවා බණ්ඩාරවෙල ප්‍රදේශයේ. කුමක් හෝ හදිසි පණිවුඩයක් ලබාදෙන්න අවශ්‍ය වෙලා අපේ තාත්තා මොණරාගල ඉඳන් බණ්ඩාර වෙලට තරමක් අඳුරු වැටුන වෙලාවක බයික් එකෙන් ගියා. බණ්ඩාරවෙල පැත්ත ගැන නොදන්න කෙනෙක් නැතුව ඇති. ඒ පාරවල් තියෙන්නෙ එක පැත්තකින් කන්ද අනෙක් පැත්තෙන් පාතාලය (ඒ කිව්වෙ කන්දෙන් පල්ලම). ඉතින් තාත්තා යාලුවන්ගෙ ගෙදර ගිහින් ආයෙ මොනරාගල එනකොට පාලු තනි කලුවරේ සුදු ඇඳගත්ත ගෑනු කෙනෙක් අඬ අඬා ඉන්නවලු. තාත්තා බය වෙලා මොකක් හරි කරදරයක් වෙලාද කියලා. එයා මන් තරම්වත් හොල්මන් ගැන හොයලා බලන්නෙ නෑ. තාත්තා බයික් එක ස්ලෝ කරනවත් එක්ක ඒ ගෑනි මහා හයියෙන් හිනා වෙලා. තාත්තා බය වුන පාරට එක පාර බයික් එකේ වේගෙ වැඩිකරගෙන ඇවිත්. ළඟට එනකොට දැක්කෙ නැල්ලු. ඒත් දැක්කලු එයා පහුකරගෙන යනකොට පිටිපස්සෙ හිනා වෙවී ඉන්නවා. මේක ඉතින් තාත්තා අපිට කිව්වා. බයික් එක චැලියක්. යකඩ වලට ඔය වගේ අදිසි බලවේග බයයිලුනෙ. ඒක නිසා කරදරයක් වුනේ නෑ කියලා තමයි ගොඩක් අය කියන්නෙ. අදටත් මම ඒ වුන සිද්ධිය විශ්වාස කරනවා. ඒත් හොල්මනක්ද කියලා හිතන්නෙ නෑ. ඒත් ඒ තැන මනුස්සයෙක් නම් ඉන්නෙ නෑ මචන්. පාලු පාරවල්. උඩින් කන්ද පහලින් පාතාලය. ඒ අතර යන්න තියෙන්නෙ පාරෙ දෙපැත්තට විතරයි. ඒක නිසා අපේ පවුලෙත් හොල්මන් අත්දැකීම් තියෙනවා. ඒත් මට නම් තාම අත්දැකීම් නැහැ. තාත්තා විශ්වාස කලත් මම තාම විශ්වාස කරන්නෙ නෑ. ඔයාලටත් පුද්ගලික අත්දැකීම් තියෙනවා නම් කමෙන්ටුවකින් දාගෙන ගියාට අමනාපයක් නෑ. මොකද මේ හොල්මන් විශ්වාස වසර දහස් ගානක් පැවත එන්නෙ නිකන්ම කියලත් විශ්වාසකරන්න බෑ මචන්. බුදුහාමුදුරුවොත් සක්වල ගලින් එහාට යක්ෂයන් පන්නා දැමුවලුනෙ. ඒ යක්ෂයන් මොකුක්කුද, සක්වල ගල මොකක්ද කිලා නම් මට තාම හිතාගන්න අමාරුයි. එහෙනම් කතාවට ටිකක් එන්ටර් වෙමු. මගේ පුද්ගලික අත්දැකිමි කිව්වෙ කවරුවත් බය කරන්න එහෙම නෙවෙයි. ඒ කතාව කවුරුවත් විශ්වාස කරන්න එපා. ඇසින් දකින තුරු කිසිවක් විශ්වාස නොකරන්න කියන උපදෙසත් දීගෙනම මම ඊළඟ කොටසට එන්ටර් වෙනවා.

මේ කතාවට අනුව පුංචි පවුලක් ඉන්නවා. එයාලා ටිකක් ආර්ථික ප්‍රශ්න තියෙන අය. එහෙම කියලා අපි වගේ හිඟන්නු නෙමෙයි. උන්ට වාහනේකුත් තියෙනවා හික්ස්. ඉතින් මේ අය ටිකක් දුර බැහැර පැත්තකට යනවා ලාබ ගෙයක් හොයාගෙන. ගෙදර සමහර අය කොහෙත්ම කැමති නෑ. ඒත් ගෙදර අම්මා වචනයක් කියනකොට තාත්තත් සෙක්න්ඩ් වෙනවනෙ බන්. ඒක නිසා පිරිමි කෙනා අකමැති වුනාට ගෙදර අම්මා ඉමු කියන නිසා ඉන්නවා. මේ පවුලෙ පුංචි නංගි බබෙක් ඉන්නවා. ඒ වගේම පොඩි මල්ලියෙකුත් ඉන්නවා. අන්ති කෙනාටත් බබා කිව්වට වරදක් නෑ. හැබැයි එයා අපේ වයසෙ වගේ. එයත් ලත්තන නංගියෙක්. මේ අය අතරේ චූටිම නංගි පැටියට මේ ගෙදර ගිය මුල්ම දවසෙ අමුතු මිතුරෙක් හමුවෙනවා. එයා කාටවත් පේන්නෙ නෑ. අඩුම ගානේ නංගි බබාටවත්. ඒත් චූටිම නංගි බබා එක්ක මෙයා කොහේ හරි ඉඳන් කතාකරනවා. නංගි බබා තමයි අදෘෂ්‍ය බලවේගයන්ගෙ සන්නිවේදකයා කිව්වොත් මම නිවැරදියි. එයාලා චූටි බබා සමඟ කතාකරන ඒවා චිත්‍රපටයේ අපිට ව්‍යාගාකාරයෙන් දැනුම් දෙනවා මේ කතාකරන්නෙ හොල්මන තමයි කියලා. හැම තිස්මෙන නංගියත් එක්ක සන්නිවේදනය කරනවා. ඒක මේ ගෙදර ඉන්න පොඩි මල්ලියට මාට්ටු වෙනවා. පොර බය වෙනවා. එයා කාමරේ තනියම ඉන්නත් බය වෙනවා. ඒක දෙමාපියන්ට කිව්වට එයාලා හිතන්නෙ අලුත් ගේකට ආපු නිසා සාංකාවට කියන දෙයක් කියලා. ඉතින් ඔහොම යද්දි නංගි බබා අතුරුදහන් වෙනවා. මලා.... දැන් මොකක් වෙයිද? අපි චිත්‍රපටය බලලම ඉතුරු ටික දැනගමු.

බොහෝ විචාරකයන් මේ චිත්‍රපටයට දොස් පවරන්නෙ එකම චිත්‍රපටය නැවත නැවත නිපදවනවා කියලා. ගොඩක් දුරට ඇත්ත තමයි. ගොඩක් පරන චිත්‍රපට නැවත නැවත නිපදවනවා ඇරෙන්න අලුත් කන්සෙප්ට් එකකට මේවා නිපද වන්නෙ නැති තරම්. ඒ අතරේ විචාරකයක් පවසන අනික් දේ තමයි චිත්‍රපයේ මුලු ආකාර්ශනයම දිනාගත්තෙ ඒකෙ ඉන්න හුරතල් චූටි නංගි පැටියා කියලා. ඇත්ත තමයි බන්. මට ඒ නංගි පැටියා ගෙදර ගෙනත් තියාගන්න හිතුනා කියන හුරතල් කතාවලට. ඔයාලා ඒක බලන්නම මේ චිත්‍රපටය බාගනීවිද දන්නෙ නෑ. ඒක බලන්නම බාගත්තත් අවුලක් නෑ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු කෙනා ගැන කිව්වොත් Monster House (2006), City of Ember (2008) වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු නවක අධ්‍යක්ෂක වරයෙක්. මෙය ඔහුගෙ තෙවන චිත්‍රපටය කිව්වොත් නිවැරදියි. නවක අධ්‍යක්ෂක වරයෙකු වශයෙන් ආධුනිකත්වයෙන් ඔබ්බට ගිහින් තියෙන අධ්‍යක්ෂක වරයෙක් බවට හඳුන්වා දෙන්න පුළුවන්. ප්‍රධාන නළු නිළියන් ගැන කිව්වොත් මම මුලින්ම කියන්නෙ අපේ පුංචි නංගි පැටියා ගැන ඇය ඉපදිලා තියෙන්නෙ කැනඩාවෙ 2007 වර්ෂයේයි, හලි හුලුතල්....... ඒත් දඟකාරකම නම් ඉවරයක් නෑ. ඇය තුන්දෙනෙක්ගෙ පවුලකින් යුත් බඩපිස්සි. ඒත් පොඩි වුනාට Jingle All the Way 2 (2014) වගේ චිත්‍රපට වලත් රඟපාලා තියෙනවා. අපි වගේ හාල්පාරුවො නෙවෙයි නේද බන්. පොඩි කාලෙ ඉඳන්ම තම රැකියාව තෝරගත්ත ඒ වගේ ජීවිත තියෙන්නෙ හරිම අතලොස්සක්. මට හිතෙන්නෙ ඇයට ලොකු අනාගතයක් තියේවි. ඇයගෙ සැබෑ ජීවිතේ නම Kennedi Clements කියලයි හඳුන්වන්නෙ. ප්‍රධාන නළුවා ගැන කිවවොත් එක්කෙනෙක් තමයි තාත්තා.. එයා Moon (2009), The Hitchhiker's Guide to the Galaxy (2005) වගේ කප් ගහපු චිත්‍රපට වල රඟපෑ Sam Rockwell ය. ප්‍රධාන නළුවන්ගෙ අනිත් කෙනා තමයි අපේ පොඩි කොලුවා. එයා තමයි චිත්‍රපටය වෙනස් කරන්න, චිත්‍රපටය ඇදගෙන යන්න බෙහෙවින් උපකාරී වෙන කෙනෙක්. එයාගෙන් තමයි අපි චිත්‍රපටයේ ගොඩක් රසවින්දනය ලබාගන්නෙ එයා තමයි The Following (2013), The Pale of Settlement (2013), The Young and Prodigious T.S. Spivet (2013) වගේ චිත්‍රපට වල රඟපාපු Kyle Catlett කියන නළු බට්ටා. අම්මට රඟපාන්නෙ Rosemarie DeWitt කියන නිලියයි. ඇයත් අපි බලපු ගොඩක් චිත්‍රපට වල ඉන්නවා ඒ අතරේ The Watch (2012), The Odd Life of Timothy Green (2012), Cinderella Man (2005) කියන චිත්‍රපට ප්‍රධානයි. එමෙන්ම චිත්‍රපටය බෙදාහැරීම් කරලා තියෙන්නෙ Fox මාමිලා විසින්. ඒ වගේම චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නෙ Metro-Goldwyn-Mayer (MGM), Ghost House Pictures හා Vertigo Entertainment යන ආයතනයි.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.